1. 3. 2.
අලගද්දූපම සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි (පෙර ගිජුලිහිණියන් නැසූ කුලයෙහි උපන් හෙයින්) ගද්ධබාධි පුබ්බයයි කියනු ලබන අරිට්ඨ නම් භික්ෂුවට මෙබඳුවූ ලාමකවූ වැරදි මතයක් උපන්නේ වෙයි (කෙබඳු මතයක්ද යත්) ‘භාග්යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම මෙසේ දනිමි’යි (කියායි.) ඉක්බිති බොහෝ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුවට මෙබඳු වැරදි මතයක් පහළවී තිබෙන බව ඇසූහ. එනම්: “භාග්යවතුන් වහන්සේ විසින් යම් ධර්මකෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය මම මෙසේ දනිමි’යි (කියායි.)
2. ඉක්බිති ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුව යම් තැනෙකද එහි පැමිණියහ. පැමිණ, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුවට මෙසේ කීහ. “ඇවැත්වූ අරිට්ඨය, තොපට ‘භාග්යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද, ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය මම මෙසේ දනිමි යන පහත්වූ වැරදි මතයක් පහළ වී ඇත්තේය යනු සැබෑදැ’යි විචාළහ.”
3. “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරන ලද්දාහු නම් ඒ ධර්මයෝ අන්තරාය පිණිස නොවෙත් යන ආකාරයෙන් භාග්යවතුන් වහන්සේ විසින් වදාළ ඒ ධර්මය මම දනිමි”යි කීහ.
4. ඉක්බිති ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුව ඒ වැරදි මතයෙන් වෙන් කරවනු කැමැත්තාහු මතය විචාරමින් කරුණු කියති, මතයෙහි පිහිටුවමින් කරුණු කියති. ඊට හේතු අසමින් කරුණු කියති: “ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, භාග්යවතුන් වහන්සේට දෝෂාරෝපණය නොකරව. භාග්යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. ඇවැත් අරිට්ඨයෙනි, භාග්යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකර ධර්මයෝ අන්තරායකර ධර්මයෝයයි වදාරණ ලදහ. ඔවුහු සේවනය කරන්නාහට අන්තරාය පිණිස වෙත්.
5. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක් හා බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුලයයි වදාරන ලදී. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරන ලදී. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්ත හා මස් ලොඹුවකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී. භාග්යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේ යයි වදාරනලදැයි” (අවවාද කළාහුය.)
6. මෙසේද ඒ භික්ෂූන් විසින් මතය විචාරමින් කරුණු කියනු ලැබූ මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබූ ඊට හේතු අසමින් කරුණු කියන ලැබූ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’යි යන ඒ ලාමක වැරදි මතයම තරයේ අල්ලාගෙන ව්යවහාර කරයි.
7. යම් හෙයකින් ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ ලාමක වැරදි මතයෙන් වෙන් කරවන්නට අසමර්ථ වූවාහුද, එවිට ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙසේ සැලකළහ.
8. “අරිට්ඨස්ස නාම භන්තෙ භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. ස්වාමීනි, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’ යන මෙබඳු ලාමක වැරදි මතයක් උපන්නේය. ස්වාමීනි, අපි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ විසින් යම් ඒ අන්තරායකර ධර්මකෙනෙක් වදාරන ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නා හට අන්තරායකර නොවෙත්, භාග්යවතුන් වහන්සේ විසින් වදාළ ඒ ධර්මය මම ඒ ආකාරයෙන් දනිමි, යන ලාමක වැරදි මතයක් උපන් බව ඇසීමු.