30. 1. 2.
“සීල සම්පන්නවූද, ශාන්තවූද සිහියෙන් යුක්තවූද භවයෙන් නික්මීමේ කල්පනා ඇතිව ධ්‍යාන කරන්නාවූද අප්‍රමාද විහරණයෙන් යුක්තවූද, කර්ම ස්ථානභාවනාවෙහි ඇලුනාවූද, එකඟ වූ සිත් ඇත්තාවූද විවේකය වඩන්නාවුද ප්‍රත්‍යයාදී සන්තෝෂයෙන් යුක්තවූද, යම් පුද්ගලයෙක් වේ නම් ඔහු භික්ෂුයයි කියනු ලැබේ.
“සිනිඳුවූද, රළුවූද අහර බුදිනු ලබන්නේ බොහෝ කොට නුබුදීද ස්වල්ප වූ ආහාරයෙන් නොපිරුණු බඩ ඇතිව සිහියෙන් යුක්තව වාසය කරන්නේය.
“සතර පස් පිඩකට ඉඩ තබා පැන් බොන්නේ වේද, නිවනට මෙහෙය වූ සිත් ඇති භික්ෂුවගේ එය සැප විහරණය පිණිස වෙයි.
“සීතාදියෙන් වළකා සිටීමාදී ප්‍රයෝජන සලකා සැප සිවුරෙන් ශරීරය වසාද නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති භික්ෂුවගේ එය සැප විහරණය පිණිස වෙයි.
“එරමිණියා ගොතාහුන්නහුට වැස්සෙන් දෙදණ නොතෙමී සිටිය හැකිවේද, නිවන් පිණිස මෙහෙයවූ සිත් ඇති භික්ෂුවගේ එය සැප විහරණය පිණිස වෙයි.
“යමෙක් සුඛවේදනාව වෙනස්වන දුක් ඇති දෙයකැයි දකීද, දුක්වේදනා වනාහි හුල් වශයෙන් දකීද, මධ්‍යස්ථ වේදනාවෙහි මමය මාගේයයි යන හැසිරීමක් නැත්තේද, ලෝකයෙහි කිසිවක් නැති පුද්ගලයා ඔහු වන්නේය.
“යමෙක් පාපිච්ඡවේද, කුසීතවේද, වීර්ය අඩු කෙනෙක් වේද, අල්පශෘතයෙක්වේද, අනාදරයෙක්වේද, එබඳු වූ ලාමක පුද්ගලයා කිසිකලෙකත් මා කෙරෙහි නොවේවා.
“බහුශ්‍රැතවූද, ප්‍රඥාව ඇත්තාවූද, සීලයෙහි පිහිටියාවූද, සිත තැන්පත් කළාවූද පුද්ගලතෙම මාගේ මස්තකයෙහි සිටීවා.
“තෘෂ්ණාදී ප්‍රපංච ධර්මයන්ගෙන් යුක්තවූද ඒ ප්‍රපංච ධර්ම විෂයෙහිම ඇලුනාවූද, යම් පුද්ගලයෙක් මෘගයෙක් හා සමානවේද, ඒ පුද්ගලයා නිරුත්තර වූ යොගක්ෂෙම නම් වූ නිවන නොලබයි.
“යම් පුද්ගලයෙක් තෘෂ්ණා ප්‍රමාද හැර පමා බවක් නැති නිවනෙහි ඇලුනේද ඒ පුද්ගලයා නිරුත්තර වූ යොගක්ෂෙම නම් වූ නිවන ලබයි.
“ගමෙහි හෝ අරණ්‍යයෙහි හෝ පහත් ස්ථානයෙහි ගොඩ තැන යන යම් ස්ථානයක රහතුන් වෙසෙත් නම් ඒ ස්ථානය රමණීය ස්ථානයක් වේ.
“යම් තැනක රමණීය වනයෝ වෙත්ද, ජනයා නොඇලෙන ඒ වනාන්තරවල වීතරාගී උතුමෝ ඇලෙත්. කාමය සොයන පුද්ගලයෝ නොඇලෙත්.
“යම් පුද්ගලයෙක් වරද දක්වන්නේ නම් ඔහු නිධාන් දක්වන්නෙක් වැනිය. නිග්‍රහ මුඛයෙන් කියන්නාට ප්‍රඥාව ඇති එබඳු වූ පණ්ඩිතයෝ භජනය කළ යුතුය. එබන්දන් සේවනය කරන්නහුට ශ්‍රේෂ්ඨ භාවය ඇති වෙයි. ලාමක බවක් ඇති නොවෙයි.
“එම නිසා අවවාද කළ යුතුයි. අනුශාසනා කළ යුතුයි. අසභ්‍ය භාවයෙන්ද වැළකිය යුතුයි. එබඳු පුද්ගලයෝ සත්පුරුෂයන්ට ප්‍රියයි. අසත්පුරුෂයන්ට අප්‍රියයි.
“පසැස් ඇති බුදුරජාණන් වහන්සේ අනිකෙකුට යම් ධර්මයක් දේශනා කෙළේද ඒ ධර්මය දේශනා කරන කල්හි කන් නමා සිටියෙමි.
“මගේ ඒ ඇසීම් හිස් නොවූයේය. ආශ්‍රව රහිතව කෙලෙසුන්ගෙන් මිදුනෙමි. මගේ සිත පෙර විසූ පිළිවෙල දැනීම පිළිබඳ නොවේ. දිවැස් ලැබීම පිණිසද නොවේ. මාගේ ප්‍රාර්ථනාව වනාහි චුති උත්පත්ති දැනීමේ ඍද්ධිය පිළිබඳව හෝ දිව්‍ය වූ කන් ලැබීම පිණිස හෝ නොවේ.”
“හිස මුඩුකරන ලද්දේ සඟල සිවුර දැරුවේ රුක් මුල් ඇසුරුකොට ප්‍රඥාවෙන් උත්තම බවට පැමිණියේ උපතිස්සත්ථෙර නමින් ධ්‍යාන කරන්නෙහිය.
“සම්බුද්ධ ශ්‍රාවක වූ මම එකෙණෙහිම චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවැදී ආර්ය තුෂ්ණිම් භාවයෙන් යුක්තව සිටියෙමි.
“යම් සේ පර්වතය යහපත්ව පිහිටියේ නොසෙල්වේද එසේම මෝහය දුරුකළ භික්ෂුවද පර්වතයක් මෙන් නොසෙල්වෙයි.
“පිරිසිදුකම කැමැති කෙලෙස් රහිත පුද්ගලයාට ස්වල්පමාත්‍ර පාපයද මහත්කොට වැටහෙයි.
“ජීවිතයද කැමති නොවෙමි. මරණයද කැමති නොවෙමි. සිහියෙන් හා ප්‍රඥාවෙන් යුක්තව මේ ශරීරය බහා තබමි.