30. තිංස නිපාතය
30. 1. 1.
සන්සුන් වූ, තමන් දියුණු කරගත්, මනා සංවර ඇති බොහෝ දෙනා දැක පණ්ඩරසගොත්ත සෘෂි තෙමේ ඵුස්ස නම් තෙරුන්ගෙන් විචාළේය.
“අනාගත කාලයෙහි ඔවුහු කවර ඡන්ද ඇත්තෝ, කවර අදහස් ඇත්තෝ, කවර ආකල්ප ඇත්තෝ වන්නාහුද? විචාරන ලද තෙපි මට එය කියව.”
“පණ්ඩරසගොත්ත ඍෂිය, මාගේ වචනය අසව. මනාකොට සිතේ දරාගනුව. මම අනාගතය කියන්නෙමි.”
“අනාගත කාලයෙහි ක්‍රොධකරන්නාවූද බද්ධ වෛරයෙන් යුක්තවුනාවූද ගුණමකු බැව් ඇත්තාවූද තද බැව් ඇත්තාවුද කෛරාටික ගති ඇත්තාවූද ඊර්ෂ්‍යා කරන්නාවූද කළහකාරීවූද බොහෝ අය ඇතිවන්නාහ.
“ධර්මය නොදැනම මාන්නයෙන් යුක්තව අගෝචරයෙහි වෙසෙමින් චපලගති ඇතිව ගෞරව නැතිව වෙසෙත්.
“අනාගතයෙහි නොයෙක් දෝෂයෝ සත්වලෝකයෙහි ඇතිවන්නාහ. මනාකොට දේශනා කරනලද සද්ධර්මය මෝඩයෝ කෙලෙසත්.
“ගුණයෙන් හීන පුද්ගලයෝද සංඝයා මැද විනිශ්චය කරන අවස්ථාවෙහිදී නිර්භයව බලවන්තව රළුවචන ඇත්තෝව ඒ අසා ධර්මය අධර්මය කොට පෙන්වත්.
“ගුණ ඇත්තෝද සංඝයා මැද අර්ථානුකූලව පෙන්වනු ලබන කල්හි දුර්වලයෝව සිටිත්. ලජ්ජා ඇත්තෝව තුෂ්ණිම්භූත වෙත්.
“අනාගත කාලයෙහි රන්රිදීද, කෙත්වතුද, එළු බැටළු ආදී සතුන්ද, දැසිදසුන්ද, මෝඩ පුද්ගලයෝ පිළිගනිත්.
“අනුන් වෙහෙසනු කැමැත්තාවූ අඥානයෝ සිල් ගුණයක් නැතිව ඔසවනලද මාන්නයෙන් යුක්තව කලහ කරනු කැමැති මෘගයන් මෙන් හැසිරෙත්.
“උඩඟු ගතියෙන් යුක්තව අකැපවූ සිවුරු පොරවා කුහක ගතිවලින්ද, තද ගතියෙන්ද, කුහක වචනවලින්ද අන් හා සමාන ප්‍රකට ක්ලේශයන්ගෙන් යුක්තව හැසිරෙන්නාහුය.
“තෙලින් තෙමූ කෙසින් යුක්තව චපලගති ඇතිව අඳුන්වලින් අලංකාර කළ ඇස් ඇතිව ලා රතින් යුක්තව සිවුරු පොරවා රථවල නැගී හැසිරෙත්.
“ආර්යයන් විසින් පිළිකුල් නොකරනලද අර්හත් ධජය සුදට හුරු සිවුර නිසා පිළිකුල් කරත්.
“කුසීතවූද, හරණාලද වීර්ය ඇත්තාවූද, ඔවුන් ලාභයටම කැමති වෙත්. ඔවුන් වනයෙහි විසීමට අකැමැතිව ගම් සෙනසුන්වලම වෙසෙත්.
“යම් කලෙක මිච්ඡා ජීවිතයෙහිම ඇලී යම් යම් ලාභ ලබත්ද, ඒ ඒ පුද්ගලයින්ට අනුවම අසංවරව හැසිරෙත්.
“යම් යම් ලාභ නොලැබීමෙන් අලාභවලින් යුක්තවූ පූජ්‍ය ගුණ ඇති අය අනාගතයෙහි ඇති නොවෙත්. ධෛර්‍ය්‍ය සම්පන්න ප්‍රිය දැකුම් ඇති භික්ෂූහුද, ඒ කාලයෙහි ලාභ කැමතිවම වෙසෙත්.
“කාලයට සුදුසු පඬු පෙවීමෙන් යුක්තවූ ස්වකීය රතු සිවුරට ගරහා තීර්ථකයින්ගේ සුදු සිව්ර දරාගනිත්.
“අනාගතයෙහි ගිහියෝද කසාවතට අගෞරව කරත්. භික්ෂූහුද ප්‍රත්‍යවෙක්ෂාවෙන් තොරව කසාවත් දරාගනිත්.
“හීයෙන් විදුනාලදුව දුකෙන් පෙළෙමින් ශරීර පීඩාවට පත් මහා ඡද්දන්ත හස්තිරාජයාද මහා ඝොරවූයේ නමුදු,
“අර්හත් ධජය දැක ඒ ඡද්දන්තහස්තියා විසින් අර්ථයෙන් යුක්ත මේ ගාථාවන් එකෙනෙහිම ප්‍රකාශ කරනලදී.
“යමෙක් ඉන්ද්‍රිය දමනයෙන් හා වාක් ශක්තියෙන් තොරව කසාවත් දරත්ද හෙතෙම කසාවතට නොහොබී.
“යමෙක් වනාහි කෙලෙස් කසට දුරුකොට සීලයෙන් යුක්තවූයේ ඉන්ද්‍රිය දමනයෙන් හා වාක් ශක්තියෙන් යුක්තවූයේවේද හෙතෙම කසාවතට සුදුසුය.
“සිල් බිඳුනාවූද, නුවණමදවූද, ප්‍රකට ඉඳුරන් ඇත්තාවූද, කැමති කැමති පරිදි හැසිරෙන්නාවූද, රූපාදී විෂයයන්හි විසුරුණාවූ සිත් ඇත්තාවූද, හිරිඔතප් නැත්තාවූද ඒ පුද්ගලයා කසාවතට නොහොබී.
“යමෙක් සීලයෙන් යුක්තද, රාගය දුරුකළේද, එකඟවූ සිත් ඇත්තේද පිරිසිදුවූ කල්පනා ඇත්තේද ඔහු කසාවතට සුදුසුය.
“යමෙකුන්ට සීලයක් නැත්තේද, උඩඟුවූද, මාන්නය ඇත්තාවූද, අඥානවූද, ඒ පුද්ගලයින්ට කසාවතින් කවර ප්‍රයෝජනයක්ද?
“දූෂිත සිත් ඇත්තාවුද, ආදර නැත්තාවූද භික්ෂූහුද, භික්ෂුණියෝද අනාගතයෙහි මෛත්‍රී සිත් ඇති යහපත් අයට නිග්‍රහ කරත්.
“මහතෙරුන් විසින් සිවුරු පෙරවීම් ආදී ලොකු කුඩා කටයුතුවල හික්මවන්නාහුද අඥානවූ ප්‍රකට ඉඳුරන් ඇති තමා කැමැතිදේම කරන්නාවූ මෝඩවූ ඒ පුද්ගලයෝ ඒ උතුම් අවවාද නොඅසත්.
“ආචාර්ය උපාධ්‍යායයන් විසින් හික්මවනු ලබන්නා වූ ඒ අඥාන පුද්ගලයෝ ඔවුනොවුන් කෙරෙහි ආදර නැතිව දුෂ්ට අසුන් මෙන් හැසිරෙත්.