ථෙරගාථා
නිදාන ගාථා
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
උතුම් දළ ඇත්තාවූ පර්වත ගුහායෙහි ගුගුරන මෘගරාජයින්ගේ අභීත නාද වැනි (සමථ විදර්ශනා වශයෙන් වඩනාලද සිත් ඇති) ක්ෂීණාශ්‍රවයන්ගේ ආත්මාර්ථාදී අර්ථයන් එළවන්නාවූ ගාථාවන් අසව්.
සුභූති-මහාකොට්ඨිත ආදී යොග්‍ය නම් ඇත්තාවූ ගෞතම කාශ්‍යපාදී යොග්‍ය ගොත්‍ර ඇත්තාවූ (ශ්‍රද්ධා විමුක්ති ප්‍රඥා විමුක්තීන් අතුරෙන්) යොග්‍ය උසස් මිදීම් ඇත්තාවූ සප්‍රාඥවූ ක්ෂීණාශ්‍රවයෝ නොමැළිව වාසය කළහ.
ඒ ඒ වනරුක් මුල්හි විදසුන් වඩා නිර්වාණ පදයට පැමිණ නිවන් සුව සලකා බලන්නාහු මේ අර්ථය ගාථා බන්ධන වශයෙන් වදාළහ.
1. එකක නිපාතය
1. පළමුවන වර්ගය
1. 1. 1.
1. “වැසිවළාව, මාගේ කුටිය සෙවෙනි කරන ලද්දීය. සැපය, වාත ප්‍රවෙශ රහිතය තෝ රිසිසේ වසින්න. මගේ සිත (මාර්ගඵල සමාධීන්ගෙන්) මොනවට එකඟ බවෙහි පිහිටියේය. සැම කෙලෙසුන් කෙරෙහි මිදිණ. වීර්ය සම්පන්නව වෙසෙමි. වැසිවළාව, වසින්න’
ආයුෂ්මත් සුභූති ස්ථවිරතෙම මේ ගාථාව වදාළේය.
1. සුභූතිථේර ගාථා
1. 1. 2.
2. “සංසිඳුනාවූ, සැම පවින් වැළකුණාවූ පමණින් යුක්තව කථාකරණ උඩඟු නොවූ මහණතෙම ගසක කොළයක් හෙළලන සුළඟක් සෙයින් ලාමකවූ, අකුශල ධර්මයන් කම්පාකොට හරනේය.”
මහා කොට්ඨිත ස්ථවිරතෙම මේ ගාථාව වදාළේය.
2. මහාකොට්ඨිතථේර ගාථා
1. 1. 3.
3. “යම් තථාගත කෙනෙක් තමන් වෙත පැමිණ දිව්‍ය-බ්‍රහ්මාදීන්ගේ සැක දුරුකෙරෙද්ද ඒ තථාගතවරයන්ගේ මධ්‍යම රාත්‍රියෙහි දල්වනලද ගිනිකඳක් මෙන් බබළන මේ ප්‍රඥා මහිමය බලන්න. “ඒ මේ බුදුවරයෝ හික්මියයුතු ජනයාට ප්‍රඥාලෝකය දෙන්නෝ වෙති. නුවණැස දෙන්නෝ වෙති.”
ආයුෂ්මත් සංඛාරේවත ස්ථවිරතෙම මේ ගාථාව වදාළේය.
3. කංඛාරේවත ථෙරගාථා
1. 1. 4.
4. “නුවණැත්තාවූ, අත්වැඩ පර වැඩ ආදී හිතාභිවෘද්ධිය දන්නාසුළුවූ බුද්ධාදී සත්පුරුෂයන් හා එක්ව හිඳිනේය. නොපමාවූ විචක්ෂණවූ වීරයෝ ගැඹුරුවූ දැක්මට අපහසු සියුම් ඉතා සියුම් මහත්වූ අර්ථය නම්වූ ආර්ය සත්‍යය මොනවට අවබෝධ කෙරෙත්.”
ආයුෂ්මත් පුණ්ණ මන්තානි පුත් තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
4. පුණ්ණ තෙරගාථා
1. 1. 5.
5. “යමෙක් අමාරුවෙන් හික්මිය යුතුවූයේ බුදුරදුන් විසින් හික්මවනලද්දේද, ප්‍රඥාදී මගපල සුවින් හටගත් සතුටු ඇති, දුරුකළ සැක ඇති කෙළෙස් සතුරන් මැඩ ජය ගත්තාවූ පහවගිය සසර බිය ඇති (ලෝකධර්මයන්ගෙන් කම්පානොවන හෙයින්) අචලවූ ඒ දබ්බ තෙමේ ක්ලේශ පරිනිර්වාණය කෙළේය.”
ආයුෂ්මත් දබ්බ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
5. දබ්බ (මල්ලපුත්ත) ථෙරගාථා
1. 1. 6.
6. “යම් මහණෙක් තනිව ශීතවනයට පැමිණියේද, ඒ මහණතෙම, ධෛර්‍ය්‍ය සම්පන්නවූයේ ‘කායගතා සතිය’ රකිමින් සතුටට පත්විය. අශ්‍රමාර්ගයෙන් සන්සිඳින සියලු කෙලෙස් සතුරන් මැඩ ජයගත. පහවගිය ලොමුඩැහැගැනීම් ඇත්තේවී”
ආයුෂ්මත් සීතවනිය සම්භූත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
6. සීතවනිය ථෙරගාථා
1. 1. 7.
7. “යමෙක්තෙම ඉතා දුර්වල උන හෝ බට ඒදණ්ඩක් පාකොට යන මහා වතුරක් සෙයින් මරසෙනග දුරුකළේද, කෙළෙස් සතුරන් ජයගත්, පහවූ බිය ඇති දැමුණ, අචලවූ ඒ භල්ලිය මහණතෙම කෙළෙස් පිරිනිවනින් නිවීගියේය”
ආයුෂ්මත් භල්ලිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
7. භල්ලිය ථෙරගාථා