10. 1. 6.
577. “ජනයාගෙන් වෙන්වූ, නිශ්ශබ්දවූ, වල්සතුන් විසින් සෙවුනාලද සෙනසුන භික්ෂුව විසින් හිත මනාකොට පිහිටුවා ගැණීමට සේවනය කටයුතුය.
578. “කසල ස්ථානයෙන් හෝ සොහොන් පිට්ටනියෙන් හෝ වෙන අන් තැනකින් හෝ ගනුලබන රෙදි කැබලිවලින් මසාගන්නාලද රූක්ෂ චීවරයක් දැරිය යුතුයි.
579. “නිහතමාන සිතින් යුක්තව පිළිවෙළින් භික්ෂුතෙමේ වසනලද සදොර ඇතුව මනා සංවරයෙන් යුක්තව පිඬු පිණිස හැසිරිය යුතුය.
580. “ස්වල්පවූ දෙයින්ද සතුටු වියයුතුය. අන්‍යවූ මිහිරි බොහෝ දේවල් බලාපොරොත්තු නොවිය යුතුය. රසයෙහි ගිජුවූ පුද්ගලයාගේ සිත ධ්‍යානයෙහි නොඇලේ.
581. “ඥානවන්ත පුද්ගලයා ස්වල්ප ආශා ගුණයෙන්ද, යථාලාභාදී වශයෙන් පවත්නා සන්තොෂ ගුණයෙන්ද, හුදකලා වාසයෙන්ද වෙසෙයි. ඒ ඥානවන්ත පුද්ගලයා ගිහියන් හා පැවිද්දන් සමගත් එකතුවීම් නැති වූයේ වෙසෙයි.
582. “තමා ගොළු බිහිරි නොවූයේම, ගොළු බිහිරි භාවය පෙන්නුම් කළ යුතුය. පණ්ඩිතතෙම සංඝයා සමගද මද පමණට බිණියයුතුය.
583. “කියනලද පිළිවෙතින් යුක්තවූ භික්ෂුව කිසිවෙක්හට අපවාද නොකටයුතුය. කයින් වෙහෙසීමද නොකළයුතුය. ප්‍රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවිය යුතුය. ඔහු විසින් භොජනයෙහිද පමණ දැනගත යුතුය.
584. “මනාකොට ගන්නාලද නිමිති ඇත්තෙක්ව යහපත් සිතිවිලි ඉපදවීමෙහි දක්ෂයෙක්ව සමථ භාවනාවෙහි යෙදිය යුතුය. සුදුසු කාලයෙහි විදර්ශනා භාවනාද වැඩිය යුතුය.
585. “ඒ පණ්ඩිත භික්ෂුව නිතර පවත්නා වීර්යයෙන් යුක්තව හැමකල්හි භාවනානුයෝගීව විසිය යුතුය. දුක් කෙළවර නොකොට විශ්වාසයකට නොපැමිණිය යුතුය.
586. “මෙසේ විවේක සෙනසුන්හි වාසය කරන්නාවූද, ඥානදර්ශන විශුද්ධිය කැමැත්තාවූද, භික්ෂුවගේ සියලු ආශ්‍රවයෝ ක්ෂය බවට යෙත්. (නැතිවෙයි) හෙතෙම දෙයාකාරවූ නිවනටම පැමිණෙයි.”
මෙසේ ආයුෂ්මත් උපසෙන වඞ්ගන්තපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
උපසෙන ථේර ගාථා.
10. 1. 7.
587. “ඤාණවන්ත පුද්ගලයා විසින් තමන්ගේ යහපත දැනගතයුතුය. බුදුන් විසින් වදාරණලද වචනයද බැලිය යුතුය. පැවිදිබවට පැමිණියාවූ කුලපුත්‍රයා එහිම සුදුස්සෙක්ව විසිය යුතුයි.
588. “මෙහි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ශික්ෂා සමාදානය ලැබ ගුරුන්ට කීකරුව වෙසේ නම් මෙය ශ්‍රමණයාට සුදුසු වෙයි.
589. “බුදුනට ගරුකරන්නෙක්ද, ධර්මයට ගරුකරන්නෙක්ද සංඝයාට සම්මානකරන්නෙක්ද පිළිවෙලින් විය යුතුය. මෙය ශ්‍රමණයාට සුදුසුවෙයි.
590. “අගොචරය දුරුකොට ගෝචර සම්පන්නව පිරිසිදු ජීවිකාවෙන් යුක්තව ඥානවන්තයන්ගෙන් ගැරහීම් නොලබන්නෙක්ව සිත මනාකොට පිහිටුවා වෙසේ නම් මෙය ශ්‍රමණයාට සුදුසුයි.
591. “චාරිත්‍ර සීලයෙන් හා වාරිත්‍ර සීලයෙන් යුක්තව පැහැදීම ඇති කරන ඉරියා පථයෙන්ද යුක්තව සමථ විදර්ශනා භාවනා කළයුතුය. මෙය ශ්‍රමණයාට සුදුසුයි.
592. “ඥානවන්තයා විසින් විවේක වූද, ශබ්ද නැත්තාවූද වන සෙනසුන් ඇසුරුකළ යුතුය. මෙය ශ්‍රමණයාට සුදුසුයි.
593. “සිල්වත් බව හා බහුශ්‍රැතබව ඇතිව රූප අරූප ධර්ම තත්වූ පරිදි විමසා නම් සත්‍යාවබෝධයවේ. මෙය ශ්‍රමණයාට සුදුසුයි.
594. “සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව හා අසුභබවද පුරුදු කළ යුතුය. ලෝක වස්තු පිළිබඳ නොඇලීමද පුරුදුකළ යුතුය. මෙය ශ්‍රමණයාට සුදුසුයි.
595. “බෝධ්‍යංග ධර්මයෝද, ඉර්ධිපාද ධර්මයෝද ඉන්ද්‍රිය ධර්මයෝද, බාල ධර්මයෝද, ආර්යඅෂ්ටාංගික මාර්ගයෝද වැඩිය යුතුය. මෙය ශ්‍රමණයාට සුදුසුයි.
596. “ඥානවන්තයා සියලුම තෘෂ්ණාව සිඳදැමිය යුතුය. සියලුම ආශ්‍රවයෝ මුල් සහිතව සිඳිය යුතුය. කෙලෙසුන්ගෙන් මිදුනාවූ ඒ පුද්ගලයා නිවන් අරමුණුකොට වාසය කරන්නේය. මෙය ශ්‍රමණයාට සුදුසුයි.”
මෙසේ ආයුෂ්මත් ගෝතම ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
ගොතම ථේර ගාථා.
එහි උද්දානය:
කාළුදායී තෙරුන් ද, එකවිහාරිය ද, කප්පින ද, චූළපන්ථක ද, කප්ප ද, උපසෙන ද, ගෝතම ද යන මේ සත් තෙරවරු දසක නිපාතයෙහි වෙති. මෙහි ගාථාවෝ ද සැත්තෑවක් වෙත්.
දසකනිපාතො නිට්ඨිතො.