10. දසක නිපාතය
10. 1. 1.
527. “පින්වතුන් වහන්ස, ඵල කැමැත්තහුට පරණ පත් සිඳීයාමෙන් අළුත් පත් හා ගෙඩි ඇති, ගින්නක් මෙන් බබලන වෘක්ෂයෝ වෙත්ද මහාවීරයන් වහන්ස, මේ අවස්ථාව එබඳු අවස්ථාවකි.
528. “වීරයන් වහන්ස, හාත්පස සියලු දිශාවන්හිම පිපුණු මල් ඇති වෘක්ෂයෝ වෙත්. ඵල නෙලාගනු කැමැත්තවුන්ට ඉතා සුදුසු කාලයෙකි. ඒ නිසා ඔබවහන්සේගේ වැඩමවීමට ඉතා සුදුසුය.
529. “පින්වතුන් වහන්ස, ඒකාන්තයෙන්ම අති ශීතත් නොවූ, අති උෂ්ණත් නොවූ සැපදායක ඍතු ගුණයක් පවතී. ඒ මඟ රෝහිණී ගංගාව පසුමුඛකොට වඩින්නාවූ ඔබවහන්සේට ශාක්ය කොළිය රජදරුවෝද දැක්ක හැකිය.
530. “ගොවියෝ ආශාවෙන් සී සාත්. ආශාවෙන් බිජු වපුරති. ධන ලබනු කැමැත්තහු සමුද්රය තරණයකොට වෙළඳාම් කරත් මමද ඔබවහන්සේගේ කපිලවස්තුපුර ගමන බලාපොරොත්තුවෙන් මෙහි සිටිමි. මගේ ආශාවද සමෘද්ධ වේවා.
531. “ගොවියෝ නැවත නැවතත් බිජු වපුරත්. වස්ස වලාහකතෙම වර්ෂාව නැවත නැවත පවත්වයි. සීසාන්නෝ නැවත නැවතත් සී සාත්. මිනිසුන් විසින් උපදවනලද ධාන්ය රටවලට යවත්.
532. “යාචකයෝ නැවත නැවත කුලයන්හි හැසිරෙත්. දානපතියෝ නැවත නැවතත් දන්දෙත්. දානපතියෝ නැවත නැවත දීමෙන් නැවත නැවත දෙව් සැප ලබත්. එහෙයින් මමද නැවත නැවත යාඥා කරමි. මගේ අදහසද ඉටුවේවා.
533. “වීර්යවන්තවූද, මහාප්රඥා ඇත්තාවූද පුරුෂයෙක් යම් කුලයෙක්හි උපදී නම් සත් පරපුරක් සම්යක් ප්රතිපත්තියෙන් පිරිසිදු කරයි. දේවාතිදේවවූ මුනිවරයෙක් හැටියට උපන් ඔබවහන්සේ සත්වයින්ට ඒකාන්ත හිතභාවය පිණිස පවතින නිසා එහි වැඩමවීම මම බලාපොරොත්තු වෙමි.
534. “මහර්ෂීවූ ඔබවහන්සේගේ පියා සුද්ධොදන රජුය. බෝධිසත්වවූ ඔබවහන්සේගේ කුසින් පරිහරණය කළ යම් මවක් වේනම් ඒ මහාමායා බිසව මරණින් මතු තුසිත දෙව් ලොව සතුටින් සිටින්නීය.
535. “ඒ ගෞතම ගෝත්රයෙහි උපන්නාවූ ඕතොමෝ මෙයින් චුතව දිව්යමයවූ කාමයෙන් යුක්තව දිව්ය සමූහයා විසින් පිරිවරණලදුව පස්කම් සැප විඳී.
536. “අනිකෙකු විසින් අභිභවනය කළ නොහැකි අනුපමෙය්යවූ (උපමා කළ නොහැකි) අඟපසගින් ආලෝකය නික්මෙන්නාවූ තාදී ගුණයෙන් යුක්තවූ බුදුරජාණන් වහන්සේගේ මම පුත්රයෙක් වෙමි. ගෞතම ගොත්රයෙහි උපන් ශාක්ය රජතුමනි, තොපගේ පුත්රවූ බුදුරජාණන් වහන්සේ මගේ පියා වන්නේය. ස්වභාව වශයෙන් උන්වහන්සේ තොපටද පියා වන්නේය.”
මෙසේ ආයුෂ්මත් කාළුදායී ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
කාළුදායී ථේර ගාථා.
10. 1. 2.
537. “තනිව වනයෙහි වසන්නා ඉදිරිපිට හා පසුපාර්ශවයෙහි අනිකෙක් නොමැති බැවින් බොහෝවූ චිත්ත සුඛයක් (සතුටක්) ඇතිව වෙසෙයි.
538. “බුදුන් විසින් වර්ණනා කරනලද වනයට මම තනිව යමි. නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති තනිවූ භික්ෂුවට සැප විහරණයක් ඇතිවිය.
539. “යෝගීන්ට ප්රීතිකරවූද, රම්යවූද මත් ඇතුන් හැසිරෙන්නාවූද, වනයක් වේ නම් ශ්රමණ ධර්මය පිණිස එහි වහා පිවිසෙමි.
540. “මනාකොට පිපියාවූ ගස් ඇති කඳු අතර සිහිල් ජලය ඇති ස්ථානයන්හි ස්නානයකොට හුදකලාව හැසිරෙමි.
541. “සහායවූ දෙවැන්නෙක් නැතුව රමණීය මහවනයෙහි ආශ්රව රහිතව කරණලද කිස ඇතුව මම කවදා වසම්ද?
542. “අරණ්යගතව භාවනා කරන්නහුට අදහස් සම්පූර්ණ වේද, මම ඒ අදහස මුල්කොට කටයුතු කරමි. අනිකෙකුට කරන අනිකෙක් නැත්තේය.
543. “ඒ මම වීර්යය නම්වූ සන්නාහය බඳිමි. වනයට පිවිසියෙමි. ආශ්රව දුරුනොකොට ඒ වනයෙන් නොනික්මෙන්නෙමි.
544. “සිහිල් වාතය හා සුවඳ හමන්නාවූ වනයෙහි වෙසෙමින් එහිම හුන්නේ අවිද්යාව නසමි.
545. “මලින් ගැවසීගත්තාවූද, සිහිල් පර්වත ඇත්තාවූද, පර්වත වලින් වටකරන ලද්දාවූද, වනයෙහි විමුක්ති සැපයෙන් වෙසෙමි.
546. “ඒ මම සම්පූර්ණ චන්ද්රයා මෙන් පරිපූර්ණ චිත්ත සංකල්පනා ඇතිව සියලු කෙලෙසුන් නසා සැපසේ වෙසෙමි. මට නැවත ඉපදීමක් නැත්තේය.”
මෙසේ ආයුෂ්මත් එකවිහාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
එකවිහාරිය ථේර ගාථා.
10. 1. 3.
547. “යමෙක් තමා කරා නොපැමිණි හිත අහිත යන දෙක පළමුකොට දකීද, ඕහට අමිත්රයෝ හා මිත්රයෝ දොස් සොයන්නවුන් මෙන් දකී. එබඳු පුද්ගලයා නිවැරදි පුද්ගලයෙකි.
548. “යමෙකුට ආනාපානසති භාවනාව පරිපූර්ණද මනාකොට වඩන ලදද, බුදුන් විසින් දේශනා කරනලද ඒ භාවනාව පිළිවෙළින් පුරුදුකරන ලද්දේද, ඒ යෝගාවචර තෙම උපක්ලේශ රහිත චන්ද්රයා මෙන් ලෝකය බබුලුවයි.
549. “මාගේ සිත නීවරණ නමැති මල නැතිවීමෙන් පිරිසිදුය. අප්රමාණ නීවරණ ධර්ම ප්රත්යක්ෂ කෙළෙමි. සියලු කෙලෙසුන් නැසුවෙමි. සියලු දිසාවන් බබුලුවන්නෙමි.