10. 1. 5.
567. “නානාවිධ අසුන් කොට්ඨාශයන් ගෙන් යුක්තවද මහ වැසිකිළි වලක් හා සමානවූද, පැසෙන ගවරවලක් වැනිවූද, මහ ගඬුවක් වැනිවූද, මහ වනයක් වැනිවූද මේ ශරීරය.
568. “ලේ සැරවින් හා අශුචියෙන් පිරුණේ හැමකල්හි වැගිරෙන ස්වභාව ඇත්තේ මේ ශරීරය පිළිකුල් බවට පත්වෙයි.
569. “මහා නහරවැල් වලින් බඳනාලද්දේ මාංශාලේපයෙන් අලවන ලද්දේ සමින් වසනාලද්දේ නිරර්ථකවූ මේ කුණුකය,
570. “ඇටකෝටුවලින් ගටනාලද්දේ සුලු නහරවැල්වලින් බඳනාලද්දේ යන්ත්‍රයක් මෙන් ඉරියව් පවත්වයි.
571. “මරණය කරා ගමන්කරනුයේ මරහුගේ සමීපයෙහිම සිටිනුයේ මොහු තමාගේ ශරීරය හැර අන් තැනකට පැමිණේ.
572. “මේ ශරීරය අවිද්‍යාවෙන් වසනලදුව සතර ආකාර ගැට වලින් ගැටගසනුලැබූ සතර සැඩවතුරෙන් ගසායනලදුව අනුසය දැලින් යටපත්කරන ලදුව,
573. “පඤ්චනීවරණ ධර්මයන්ගෙන් යුක්තව කාමවිතර්කාදියෙන් යුක්තව තෘෂ්ණා නමැති භවමූලයෙන් බඳිනලදුව මෝහ වැස්මෙන් වසනලදුව මේ ශරීරය පවතී.
574. ‘කර්ම නමැති යන්ත්‍රයෙන් සම්පත්ති විපත්ති ආදී නානා භව වලට පැමිණේ.
575. “යම්බඳුවූ අන්ධ බාල පෘථග්ජනයෝ මෙම ශරීරයට මමත්වය කෙරේද, කටසී නම්වූ සංසාරය වඩත්. නැවත නැවත උපදිත්.
576. “යමෙක් ගූථගත සර්පයෙකු මෙන් මේ ශරීරය දුරු කෙරේද, ඔහු අවිද්‍යා තෘෂ්ණා දෙක හැරදමා කෙලෙස් නැති වීමෙන් පිරිනිවන් පාන්නාහුය.”
මෙසේ ආයුෂ්මත් කප්ප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
කප්ප ථේර ගාථා.
10. 1. 6.
577. “ජනයාගෙන් වෙන්වූ, නිශ්ශබ්දවූ, වල්සතුන් විසින් සෙවුනාලද සෙනසුන භික්ෂුව විසින් හිත මනාකොට පිහිටුවා ගැණීමට සේවනය කටයුතුය.
578. “කසල ස්ථානයෙන් හෝ සොහොන් පිට්ටනියෙන් හෝ වෙන අන් තැනකින් හෝ ගනුලබන රෙදි කැබලිවලින් මසාගන්නාලද රූක්ෂ චීවරයක් දැරිය යුතුයි.
579. “නිහතමාන සිතින් යුක්තව පිළිවෙළින් භික්ෂුතෙමේ වසනලද සදොර ඇතුව මනා සංවරයෙන් යුක්තව පිඬු පිණිස හැසිරිය යුතුය.
580. “ස්වල්පවූ දෙයින්ද සතුටු වියයුතුය. අන්‍යවූ මිහිරි බොහෝ දේවල් බලාපොරොත්තු නොවිය යුතුය. රසයෙහි ගිජුවූ පුද්ගලයාගේ සිත ධ්‍යානයෙහි නොඇලේ.
581. “ඥානවන්ත පුද්ගලයා ස්වල්ප ආශා ගුණයෙන්ද, යථාලාභාදී වශයෙන් පවත්නා සන්තොෂ ගුණයෙන්ද, හුදකලා වාසයෙන්ද වෙසෙයි. ඒ ඥානවන්ත පුද්ගලයා ගිහියන් හා පැවිද්දන් සමගත් එකතුවීම් නැති වූයේ වෙසෙයි.
582. “තමා ගොළු බිහිරි නොවූයේම, ගොළු බිහිරි භාවය පෙන්නුම් කළ යුතුය. පණ්ඩිතතෙම සංඝයා සමගද මද පමණට බිණියයුතුය.
583. “කියනලද පිළිවෙතින් යුක්තවූ භික්ෂුව කිසිවෙක්හට අපවාද නොකටයුතුය. කයින් වෙහෙසීමද නොකළයුතුය. ප්රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවිය යුතුය. ඔහු විසින් භොජනයෙහිද පමණ දැනගත යුතුය.
584. “මනාකොට ගන්නාලද නිමිති ඇත්තෙක්ව යහපත් සිතිවිලි ඉපදවීමෙහි දක්ෂයෙක්ව සමථ භාවනාවෙහි යෙදිය යුතුය. සුදුසු කාලයෙහි විදර්ශනා භාවනාද වැඩිය යුතුය.
585. “ඒ පණ්ඩිත භික්ෂුව නිතර පවත්නා වීර්යයෙන් යුක්තව හැමකල්හි භාවනානුයෝගීව විසිය යුතුය. දුක් කෙළවර නොකොට විශ්වාසයකට නොපැමිණිය යුතුය.
586. “මෙසේ විවේක සෙනසුන්හි වාසය කරන්නාවූද, ඥානදර්ශන විශුද්ධිය කැමැත්තාවූද, භික්ෂුවගේ සියලු ආශ්‍රවයෝ ක්ෂය බවට යෙත්. (නැතිවෙයි) හෙතෙම දෙයාකාරවූ නිවනටම පැමිණෙයි.”
මෙසේ ආයුෂ්මත් උපසෙන වඞ්ගන්තපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
උපසෙන ථේර ගාථා.
10. 1. 7.
587. “ඤාණවන්ත පුද්ගලයා විසින් තමන්ගේ යහපත දැනගතයුතුය. බුදුන් විසින් වදාරණලද වචනයද බැලිය යුතුය. පැවිදිබවට පැමිණියාවූ කුලපුත්‍රයා එහිම සුදුස්සෙක්ව විසිය යුතුයි.
588. “මෙහි කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් ශික්ෂා සමාදානය ලැබ ගුරුන්ට කීකරුව වෙසේ නම් මෙය ශ්‍රමණයාට සුදුසු වෙයි.
589. “බුදුනට ගරුකරන්නෙක්ද, ධර්මයට ගරුකරන්නෙක්ද සංඝයාට සම්මානකරන්නෙක්ද පිළිවෙලින් විය යුතුය. මෙය ශ්‍රමණයාට සුදුසුවෙයි.