10. 1. 4.
557. “මෝඩ ගතිය නිසා මම මුල් අවස්ථාවෙහි නින්දා ලැබුවෙමි. තොප ගෙදර යව කියා සහෝදරයාද පිටමන් කෙළේය.
558. “සහෝදරයා විසින් පිටමන් කරණලද ඒ මම සංඝාරාම දොරකඩ සමීපයෙහි දොම්නසින් ශාසන අපෙක්ෂාව ඇතුව සිටියෙමි.
559. “එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා පැමිණි සේක. මගේ හිසද උන්වහන්සේ විසින් පිරිමදිනලදී. අතින් අල්ලා මා රැගෙන සංඝාරාමයට පිවිසිසේක.
560. “මට ශාස්තෲන් වහන්සේ අනුකම්පාකොට රෙදි කැබෙල්ලක් දුන්සේක. එකත්පස්ව සිට මෙහි පිරිසිදුකම අධිෂ්ඨාන කරව්.
561. “මම උන්වහන්සේගේ වචනය අසා ශාසනයෙහි ඇල්ම ඇත්තෙක්ව උත්තමාර්ථය පිණිස පවතින සමාධිය ඉපදවීමි.
562. “පෙර විසූ කඳ පිළිවෙළ දැනගතිමි. දිවැස පිරිසිදු කෙළෙමි. ත්‍රිවිද්‍යාව ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද සම්පූර්ණ කෙළෙමි.
563. “පන්ථක ස්ථවිරතෙමේ තමා දහස්දෙනෙක් කොට මවා කල් පැමිණෙනතුරු රම්‍යවූ අඹවනයෙහි හුන්නේය.
564. “කල් දැන ශාස්තෲන් වහන්සේ මා කරා දූතයෙකු එවූසේක. මමද කල් දැන අහසින් එහි ගියෙමි.
565. “මම ශාස්තෲන් වහන්සේගේ පාද වන්දනාකොට එකත්පසෙක සිටියෙමි. එසේ සිටියාවූ මා ශාස්තෲන් වහන්සේ විසින් පිළිගන්නාලදී.
566. “සියලු ලෝකයා විසින් පිං බලාපොරොත්තුවෙන් දෙනුලබන දක්ෂිණාව පිංකෙතක්ව සිට මමද පිළිගතිමි.”
මෙසේ ආයුෂ්මත් චූළපන්ථක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
චූළපන්ථක ථේර ගාථා.
10. 1. 5.
567. “නානාවිධ අසුන් කොට්ඨාශයන් ගෙන් යුක්තවද මහ වැසිකිළි වලක් හා සමානවූද, පැසෙන ගවරවලක් වැනිවූද, මහ ගඬුවක් වැනිවූද, මහ වනයක් වැනිවූද මේ ශරීරය.
568. “ලේ සැරවින් හා අශුචියෙන් පිරුණේ හැමකල්හි වැගිරෙන ස්වභාව ඇත්තේ මේ ශරීරය පිළිකුල් බවට පත්වෙයි.
569. “මහා නහරවැල් වලින් බඳනාලද්දේ මාංශාලේපයෙන් අලවන ලද්දේ සමින් වසනාලද්දේ නිරර්ථකවූ මේ කුණුකය,
570. “ඇටකෝටුවලින් ගටනාලද්දේ සුලු නහරවැල්වලින් බඳනාලද්දේ යන්ත්‍රයක් මෙන් ඉරියව් පවත්වයි.
571. “මරණය කරා ගමන්කරනුයේ මරහුගේ සමීපයෙහිම සිටිනුයේ මොහු තමාගේ ශරීරය හැර අන් තැනකට පැමිණේ.
572. “මේ ශරීරය අවිද්‍යාවෙන් වසනලදුව සතර ආකාර ගැට වලින් ගැටගසනුලැබූ සතර සැඩවතුරෙන් ගසායනලදුව අනුසය දැලින් යටපත්කරන ලදුව,
573. “පඤ්චනීවරණ ධර්මයන්ගෙන් යුක්තව කාමවිතර්කාදියෙන් යුක්තව තෘෂ්ණා නමැති භවමූලයෙන් බඳිනලදුව මෝහ වැස්මෙන් වසනලදුව මේ ශරීරය පවතී.
574. ‘කර්ම නමැති යන්ත්‍රයෙන් සම්පත්ති විපත්ති ආදී නානා භව වලට පැමිණේ.
575. “යම්බඳුවූ අන්ධ බාල පෘථග්ජනයෝ මෙම ශරීරයට මමත්වය කෙරේද, කටසී නම්වූ සංසාරය වඩත්. නැවත නැවත උපදිත්.
576. “යමෙක් ගූථගත සර්පයෙකු මෙන් මේ ශරීරය දුරු කෙරේද, ඔහු අවිද්‍යා තෘෂ්ණා දෙක හැරදමා කෙලෙස් නැති වීමෙන් පිරිනිවන් පාන්නාහුය.”
මෙසේ ආයුෂ්මත් කප්ප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
කප්ප ථේර ගාථා.