7. ධනපාල ප්‍රෙතයාගේ කථාව
227. “වෙන්ව පෙනෙන ඉලඇට ඇත්තේ, කෘශව නිර්වස්ත්රවූවාය. දුර්වර්ණ වූවාය. නහර වැල් ඉල්පී ගියාය. මෙහි සිටින තොප කවරෙක්ද?”
228. “ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්‍රේතයක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.
229. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
230. “දසන්ත නම් රජුන්ගේ එරකච්ඡයයි ප්රසිද්ධවූ නුවරක් ඇත ඒ නගරයෙහි පෙර සිටුකෙනෙක් වීමි. ධනපාල සිටුයයි මහජනයෝ දනිත්.
231. “මට අමුරන් පිරූ ගැල්වාහ අසූවක් විය. මට බොහෝ වූ රත්රන්ද, මුතුද වෛඩූර්යය මැණික්ද බොහෝවූහ.
232. “එපමණ මහා ධනවතෙක්වූද, මට දන්දීමට ප්රියයක් නොවීය. යාචක ජනයෝ මා නොදකිත්වායි ගෙදොර වසාගෙන අනුභව කරමි.
233. “ශ්රද්ධානැත්තෙක්ද, මසුරෙක්ද, තදමසුරෙක්ද බියෙන් තර්ජනය කරන්නෙක්ද වීමි. දන් දෙන්නාවූද, පින්කරන්නාවූද, බොහෝ සත්වයන් වැළැක්වීමි.
234. “දන්දිමේ ඵලයක් නම් නැත. සීලයක හික්මීමේ කෙසේනම් විපාකයක් ලැබේද, පැන් පොකුණු හා ලිංද රෝපනය කරණ ලද්දාවූ උයන් වතුද,
235. “පැන්ශාලාද යා නොහැකි තන්හි ඒදඬුද වනසාලීමි. ඒ මේ නොකළ කුසල් ඇතිව කරණලද අකුසල් ඇතිව එයින් චුතව,
236. “ප්රෙතයොනියෙහි උපන්නේ සා පිපාසායෙන් මඩනා ලද්දේ වෙමි. යම් දිනක මම කළුරිය කෙළෙම්ද එතැන් පටන් පස් පනස් අවුරුද්දක් මුළුල්ලෙහි
237. “ආහාර අනුභවයක් හෝ පැන් පීමක් හෝ නොම දනිමි. යම් ශීලාදී හික්මීමක් වේද, එය මහත් වැනසීමක් වේයයිද, යම් වැනසීමක් වේද, එය ශීලාදී හික්මීමයයිද සිතීමි.
238. “යම් දානවස්තු පරිත්‍යාග නොකිරීමක්වේද, එය මහත් වැනසීමකැයි ප්රෙතයෝම දනිත්. මම පෙර බොහෝ ධනය ඇති කාලයෙහි පින් කිරීමෙන් වැළකුණෙමි.
239. “දානවස්තු විද්යමානකල්හි තමහට පිහිට නොකෙළෙමි. ස්වකීය කර්මවිපාකයට පැමිණියාවූ ඒ මම දැන් පසුතැවිලි වෙමි.
240. “සිව් මසකින් මතු මාගේ කාලක්‍රියාව වන්නේය. මම ඒකාන්තයෙන් කටුකවූ දරුණුවූ අවීචි මහ නිරයෙහි වැටෙන්නෙමි.
241. “කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. ප්‍රමාණ කරණ ලදුව කොටස් වශයෙන් බෙදන ලද්දේය. යකඩ ප්රාකාරයකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.
242. “ඒ අවීචි මහ නරකයෙහි යකඩින් වූ භූමිය දිලිසෙන්නේය. මහත් ගිනි දැලින් යුක්තය. හැමතන්හි හාත්පස යොදුන් සියයක් තැන පැතිර සිටී.