පෙතවත්ථු
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
1. උරග වර්ගය
1. 1.
1. “රහත්හු කුඹුරක් වැනිවෙත්. දායකයෝ ගොවියන් වැනිය. දියයුතු දෙය වපුරන බීජ බඳුය. මෙපමණකින් ඵලය උපදී.
2. ප්රෙතයාටද දායකයාටද, මේ බීජය, මේ වැපිරීමය, මේ කුඹුරය. ඒ පින ප්රේතයෝ ලබත්. දෙන තැනැත්තේ පිනින් වැඬේ.
3. මෙහිම පින්කොට ප්රෙතයන්ටද පින්දී යහපත් කර්මයක් කොට දිව්යලොකස්ථානයට යයි.
1. කුඹුරක් උපමාකොට ඇති ප්රේතයාගේ කථාව
1. 2.
4. “තොපගේ ශරීරය හැම තැන රන්වන්ය. සියලු දිසාවන් බබළවයි. තොපගේ කට ඌරෙකුගේ මෙනි. පෙර කිනම් කර්මයක් කෙළෙහිද?”
5. “කයින් සංවරවීමි. වචනයෙන් අසංවරවීමි. නාරදයන් වහන්ස, ඒ කරුණින් එබඳු වර්ණවීමි.
6. “නාරදයන් වහන්ස, ඔබ විසින්ම මෙය දක්නා ලදී. මම මෙය ඔබට කියමි. කටින් (වචනයෙන්) පවක් නොකරව ඌරුමුඛ ඇත්තෙක් නොවව.”
2. සූකරමුඛ ප්රේතයාගේ කථාව
1. 3.
7. “යහපත්වූ දිව්යමයවූ ශරීර වර්ණයක් දරන්නෙහිය. වෙහාසය නම්වූ අහසෙහි සිටින්නෙහිය. ඔබගේ කුණු ගඳ ගහන මුඛයද පණුවෝ කත්. පෙර කවර කර්මයක් කෙළෙහිද?”
8. “මම පවිටුවූ නපුරුවූ වචන ඇති ශ්රමණයෙක් වීමි. කටින් සංවර නොවූ තපස් ඇත්තෙක් වීමි. මාගේ තපස්කමින් වර්ණවත් ශරීර වර්ණයක් ලැබුනේවී නමුත් කේළාම් කීම නිසා කටකුණු විය.
9. “නාරදයන් වහන්ස, ඔබ විසින් මාගේ රූපය තෙමේම දක්නාලදී. අනුකම්පා ඇති යම්කිසි කෙනෙක් කියන්නාහු නම් යහපත් වචන කියන්නේය පංචකාමය කැමති දෙවියෙක් වනු කැමැත්තේ නම් කේළාම් නොකියනු මැනවි.”
3. පූතිමුඛ ප්රේතයාගේ කථාව
1. 4.
10. නොමසුරු තැනැත්තේ මළවුන්ද තවද ගෙවල් ආදියට අරක්ගත් දෙවතාවන්ද යන යම් කිසිවක් අරමුණු කොට දන් දෙන්නේය.
11. ඔව්හු ලෝකය රක්නා යසස් ඇත්තාවූ කුවෙරද, ධ්රතරාෂ්ටද, විරූපාක්ෂද, විරූළ්හකද යන සතර වරම් මහරජදරුවන් අරභයා දන් දෙන්නාහ. දායකයෝද ප්රයෝජන ලබති.
12. හැඬීමක් හෝ ශෝකයක් හෝ යම් අන්කිසි වැළපීමක් හෝ ප්රෙතයාගේ ප්රයෝජනය පිණිස නොවේ. ඤාතීහු මෙහිම සිටිත්.
13. සංඝයා කෙරෙහි මනාකොට පිහිටුවන ලද මේ දක්ෂිණාව බොහෝ කලක් ඔහුට හිත පිණිස එකෙණෙහිම පැමිණේ.
4. පිට්ඨධීතලික (පිටියෙන් තැනූ රූපය) නම් ප්රේතයාගේ කථාව