2. උබ්බරී වර්ගය
1. සංසාර මොචක ප්‍රේතයාගේ කථාව
95. “වෙන්ව පෙනෙන ඉලඇට ඇත්තී, කෘශව නිර්වස්ත්රවූවාය. දුර්වර්ණ වූවාය. නහර වැල් ඉල්පී ගියාය. මෙහි සිටින තී කවරියක්ද?”
96. “ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.
97. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
98. “ස්වාමීනි, පියා හෝ මවු හෝ නොහොත් නෑකෙනෙක් හෝ පැහැදුන සිතින් මහණ බමුණන්ට දන් දෙවයි කියා යම් කෙනෙක් මට නියම කරන්නාහුද එබඳු අනුකම්පා කරණ කෙනෙක් මටනුවූහ.
99. “යම් හෙයකින් මෙබඳුවූ විළිවැස්මක් නැතිව බඩගින්නෙන් හා පිපාසයෙනුත් පෙළනු ලබමින් මෙතැන් පටන් අවුරුදු පන්සියයක් මුළුල්ලෙහි මම හැසිරෙම්ද මාගේ පාප කර්මයාගේ මේ විපාකය වේ.
100. “ආර්යයන් වහන්ස, සතුටු සිත් ඇතිව නුඹ වහන්සේ වඳිමි. මහත් ආනුභාව ඇති ධීරයන් වහන්ස, මට අනුකම්පා කරණු මැනව. යම්කිසි දාන වස්තුවක්දී මට පින්දුන මැනව. ස්වාමීන් වහන්ස, දුගතියෙන් මා මුදනු මැනව.”
101. අනුකම්පා සිත් ඇත්තාවූ ඒ ශාරිපුත්‍ර ස්ථවිරතෙම ඇගේ කීම “මැනවයි” පිළිගෙන භික්ෂුනමකට එක් බත් පිඩක්ද, එක්රියනක් පමණ රෙදි කඩක්ද, එක පැන් තැටියක්ද දී ඒ ප්‍රේතියට දක්ෂිණාව දුන්නේය.
102. දීමට අනතුරුවම විපාක උපනී. නානාප්‍රකාර දිව්‍ය භොජන සමානවූ භොජනද, දිව්‍ය වස්ත්‍ර සමාන වස්ත්‍රද නොයෙක් පාන වර්ගද උපන, දානයාගේ මේ විපාකයයි.
103. පසුව පිරිසිදු ශරීර ඇතිව පිරිසිදු වස්ත්‍ර හැඳ කසී සලු වලටත් වඩා උතුම් වස්ත්‍ර දරන්නීව විසිතුරු වස්ත්රාභරණ ඇතිව සැරියුත් තෙරුන් වෙත පැමිණ සිටියාය.
104. “පින්වත් දෙව්දුව යම්බඳුවූ තී යහපත් ශරීර වර්ණයෙන් ඔසධී තරුව මෙන් සියලු දිශාවන් බබුළුවමින් සිටින්නෙහිය.
105. “කවර හෙයකින් තිගේ මෙබඳුවූ ශරීරවර්‍ණයක් ඇතිවේද, කවර කුශල විශේෂයකින් තිට මෙතැන්හි සුචරිත ඵල නිපදීද, තිට සිත් පිනවන යම්කිසි වස්තූපකරණ විශේෂයෝ උපදිත්ද.”
106. “මහත් ආනුභාව ඇති දෙවතාව තිගෙන් මම විචාරමි. මිනිස්වූවා කිනම් පිනක් කෙළෙහිද, කවර කුශල හේතුවකින් මෙසේ දිලිසෙන ආනුභාව ඇත්තීද, තීගේ ශරීර වර්ණයද සියලු දිශා බබුළුවයි.”
107. “ස්වාමීනි, ලෝකයෙහි කරුණා සම්පන්නවූ ස්ථවිර තෙම පඩුවන්වූ කෘශවූ බඩ සයින් පීඩිතවූ නග්නවූ සුන්බුන් සිරුරු සිවිය ඇති දුක්පත්වූ ඒ මා දුටුවේය.
108. “භික්ෂූන් වහන්සේට බත් පිඩක්ද රියනක් පමණ රෙදි කඩක්ද පැන් තලියක්ද දී මට දක්ෂිණාව දුනි.
109. “බත් පිඬේ විපාකය බලනු මැනවි. අන්‍යයන් විසින් කැමති විය යුතුවූ කාම සැපතින් යුක්තව දහසක් අවුරුදු මුළුල්ලෙහි නොයෙක් රසමසවුලෙන් යුත් දිවබොජුන් මම වළඳමි.
110. “රියනක් පමණ රෙදිකඬේ යම්බඳු විපාකයක් ඇද්ද බලනු මැනවි. නන්ද රජුගේ රටෙහි යම් පමණක් වස්ත්‍රයෝ වෙත්ද.
111. “ස්වාමීනි, මට කොසෙය්ය වස්ත්‍ර හා කම්බිලිද කොමුපිලි හා කපුපිලීද යන හඳනා පොරෝනා වස්ත්‍ර ඊට වඩා බොහෝ වෙති.
112. “මහත්වූද මාහැඟිවූද ඒ වස්ත්‍රයෝ අහසෙහිම එල්බෙත්. ඒ මම යම් යම් වස්ත්‍රයක් සිතට ප්‍රිය වේ නම් එය හැඳ පොරවා ගනිමි.
113. “පැන් තලියේ යම්බඳු විපාකයක් ඇද්ද එය බලනු මැනවි. ගැඹුරුවූද සතරැස්වූද පොකුණු මනාව මැවුනේය.
114. “සුදුවැල්ලෙන් ගැවසීගත් යහපත් තොටුපල ඇති සිහිල් ජලය ඇති, සුවඳ ඇති, පියුම්, හෙළ පියුම් ඇති, මල් රේණුවෙන් ගැවසුණු ජලයෙන් පිරුනේය.
115. “එහි මම ඇලෙමි. ක්‍රීඩා කරමි. සතුටු වෙමි. කිසි බියක් නැතිව ස්වාමීනි, ලෝකයෙහි කරුණාන්විතවූ නුවණැති ඔබවහන්සේ වැඳීමට පැමිණියෙමි.”
සංසාරමොචකපෙතවත්ථු පඨමං.