5. මට්ට කුණ්ඩලී ප්‍රේත කථාව
186. “අබරණින් සැරසුනාවූ මට්ටම් කරණලද කුණ්ඩලාභරණ ඇති මාලාවක් දරන්නාවූ රත් සඳුන්වලින් තැවරුණු අවයව ඇති තෝ මේ වන මැද හිස අත් බැඳගෙන හඬන්නෙහිය. කිම තෝ දුකට පැමිණියේ වෙහිද, කවර හේතුවකින් දුඃඛිත වූයෙහිද?”
187. “මට රනින් කළ පැහැ විහිදෙන කරත්තයක් තිබේ. ඊට රෝද දෙකක් නැත. ඒ දුකින් ජීවිතය හරින්නෙමි.”
188. “මාණවකය, මට කියව. මම නුඹට රණින් හෝ රිදීයෙන් හෝ මැණිකකින් හෝ රතු කැටයෙන් හෝ කරණ ලද රෝද දෙකක් සොයා දෙමි.”
189. “සඳ හිරු දෙදෙනා මේ අහසෙහි පෙනෙත්. මාගේ රනින් කළ රථය ඒ රෝද දෙක කරණ කොටගෙන හොබනේ වේයයි” හෙතෙම බමුණාට කීයේය.
190. “මාණවකය, සඳ හිරු දෙදෙන පතන්නාවූ තෝ බාලයෙකි. නොපැතිය යුතු දෙයක් පතන්නෙහිය. තෝ සඳ හිරු දෙදෙනා නොලද්දාහු නම් මැරෙන්නේයයි, සිතමි.”
191. “මේ සඳ හිරු දෙදෙනා කෙරෙහි යාම් ඊම් හා පැහැ සටහන්ද වීථි ආදියද පෙනේ. කළුරිය කළ තැනැත්තේ වනාහි නොපෙනෙයි. හඬන්නාවූ අප දෙදෙනා අතුරෙන් කවරෙක් මෝඩද?”
192. “මාණවකය, තෝ සැබවක්ම කියන්නෙහිය. මෙහි අඬන්නාවූ අප දෙදෙනා අතුරෙන් ඉතා මෝඩවූයේ මා මය. චන්ද්‍රයා ඉල්වා අඬන බාලයකු මෙන් පරලොව ගිය කෙනෙකු පතමින් අඬන්නේ වෙමි.
193. “මාණවකය, ශෝකයෙන් අඬන්නාවූ මාගේ පුත්‍ර ශෝකය දුරුකළාවූ නුඹ ගිතෙලින් ඉසින ලද ගින්නක් මෙන් පුත්‍ර ශොකාග්නියෙන් ඇවිල ගත්තාවූ මා හට දිය වත්කරන්නාක් මෙන් ශොකාග්නියෙන් හටගත් මාගේ සියලු විඩාව නිවූයේය.
194. “මාගේ හෘදයෙහිවූ ශොක නමැති හුල උදුරන ලද්දේය. යමෙක් ශෝකයෙන් පීඩිතවූ මාගේ පුතා නිසාවූ ශෝකය දුරු කළේද,
195. “උදුරා දමනලද ශොක නමැති හුල් ඇත්තාවූ ඒ මම නුඹගේ බස් අසා සිහිල්වූයේ වෙමි. නිවියේ වෙමි, මින්පසු ශොක නොකරමි, නොහඬමි.”
196. “එම්බා තෝ කවරෙක්ද? දෙවියෙක් හෝ ගාන්ධර්වයෙක් වෙහිද? පුරින්දද නම් ශක්‍රයා හෝ වෙහිද, කවරෙකුගේ හෝ පුත්‍රයෙක්ද අපි කෙසේ දැනගනිමුදැයි” ඇසීය.
197. “බ්‍රාහ්මණය, ඔබ සිය පුතු සොහොනෙහි දවා යම් පුතෙකු නිසා කඳුළු වගුරුවමින් හඬන්නෙහි නම් ඒ නුඹගේ පුත්‍රවූ මම කුශල කර්මයක් කොට තව්තිසා වැසි දෙවියන් හා වාසයට පැමිණියේ වෙමි.”
198. “සිය ගෙයිදී දෙන්නාවූ ස්වල්පවූ හෝ මහත්වූ හෝ දනක්ද පෙහෙවස් කිරීමක් හෝ එබඳු අන්කිසි කුල කර්මයක් මම නුදුටුයෙමි. කවර කර්මයකින් නුඹ දෙව්ලොව ගියේදැයි” ඇසීය.