4. නන්දා ප්‍රේතියගේ කථාව
168. “කළුවූ නපුරු ශරීරවර්ණ ඇති කර්කශ ශරීරයක් ඇති. පිඟුවන් ඇස් ඇතියෙහිය. කළුදත් ඇතියෙහිය. තී මනුෂ්‍ය ස්ත්‍රියෙකැයි නොහඟිමි.”
169. “නන්දසෙනය, මම නන්දා නම්වූ පෙර ජාතියෙහි නුඹගේ බිරින්දවීමි. පව්කම්කොට මේ මිනිස් ලොවින් ප්‍රේත ලෝකයට පැමිණියේ වෙමි.
170. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
171. “ක්‍රොධ ඇත්තියක් ද රළුබස් කියන්නියක් ද, නුඹ කෙරෙහි ගරු නොකරන්නියක්ද වීමි. මම ඒ නිරර්ථක වචන කියා මේ මිනිස් ලොවින් ප්‍රේත අපායට පැමිණියේ වෙමි.
172. “එබැවින් තීට උතුරු සළුව දෙමි. මේ වස්ත්‍රය හැඳගනුව. මේ වස්ත්‍රය හැඳගෙන එව තී ගෙදරට පමුණුවන්නෙමි.
173. “වස්ත්‍රයද ආහාරපාන වර්ගද ගෙටගියාවූ තී ලබන්නෙහිය. තිගේ පුතුන්ද දක්නෙහිය. යෙහෙළියන්ද දක්නෙහිය.”
174. “නුඹ විසින් අතින් අතට දෙනලද්ද මට නොපැමිණෙයි. පහකරණලද රාග ඇති බහුශ්‍රැතවූ සිල්වත්වූ භික්ෂූන්ම.
175. “ආහාරපාන වර්ගයෙන් තර්පනය කරව. මට පින දුන මැනව. එකල්හි මම සියලු කාමයෙන් සමෘද්ධවූවා සුවපත් වන්නෙමි.
176. “හෙතෙම මැනවැයි ප්‍රතිවචනදී මහත් දානය පැවැත්විය. ආහාරද පාන වර්ගද කෑයුතුදේද වස්ත්‍ර හා සෙනසුන්ද
177. “කුඩුද සුවඳ ද මල්මාලාද නොයෙක් වර්ගයේ වහන්ද වීතරාගවූ බහුශ්‍රැතවූ සිල්වත් භික්ෂූන්ටදී ආහාරපානයෙන් සතප්පවා ඈට දක්ෂිණාව දුනි.
178. දීමට අනතුරුවම විපාක උපනී. නානාප්‍රකාර දිව්‍ය භොජන සමානවූ භොජනද, දිව්‍ය වස්ත්‍ර සමාන වස්ත්‍රද නොයෙක් පාන වර්ගද උපන, දානයාගේ මේ විපාකයයි.
179. පසුව පිරිසිදු ශරීර ඇතිව පිරිසිදු වස්ත්‍ර හැඳ කසී සලු වලටත් වඩා උතුම් වස්ත්‍ර දරන්නීව විසිතුරු වස්ත්‍රාභරණ ඇතිව පැමිණ සිටියාය.
180. “පින්වත් දෙව්දුව, යම්බඳුවූ තී විශිෂ්ටවූ ශරීර වර්ණයෙන් ඔෂධීතරුව මෙන් සියලු දිශාවන් බබුළුවමින් සිටින්නෙහිය.
181. “කවර හේතුවකින් තිගේ මෙබඳුවූ ශරීර වර්ණයක් ඇතිවීද, කවර කුශල විශේෂයෙන් තට මෙතැන්හි නිපදීද, තිට සිත් පිනවන වස්තු ලැබෙත්ද?”
182. “මහත් ආනුභාව ඇති දේවතාව, තිගෙන් විචාරමි. මිනිස්වූවා කිනම් පිනක් කළේද? කවර කුශල හේතුවකින් මෙසේ දිලිසෙන ආනුභාව ඇත්තීද තීගේ ශරීර වර්ණයද සියලු දිගුන් බබුළුවයි.”
183. “නන්දසෙනය, මම නන්දා නම්වූ පෙර ජාතියෙහි නුඹගේ බිරින්දවීමි. පව්කම්කොට මේ මිනිස් ලොවින් ප්‍රේත ලෝකයට පැමිණියේ වෙමි.
184. “ගෘහපතිය ඔබ විසින් දෙනලද දානය හේතුකොට ගෙන බිය නැතිව සතුටුවෙමි. සියලු නෑයන් සමග බොහෝ කලක් මුළුල්ලෙහි ජීවත්වෙව.
185. “ගෘහපතිය, ලෝභ ද්වේෂ සහිතවූ මසුරුමලය දුරු කොට මෙහිදී ධර්මයෙහි හැසිර දන්දී ශොක රහිතවූ රජස් නැති දිව්‍යස්ථානයවූ කාමභොගීන්ගේ වාසස්ථානවූ දෙව් ලොවට නින්දා නැතිව පැමිණෙව.”
නන්දාපෙතිවත්ථු චතුත්ථං.
5. මට්ට කුණ්ඩලී ප්‍රේත කථාව
186. “අබරණින් සැරසුනාවූ මට්ටම් කරණලද කුණ්ඩලාභරණ ඇති මාලාවක් දරන්නාවූ රත් සඳුන්වලින් තැවරුණු අවයව ඇති තෝ මේ වන මැද හිස අත් බැඳගෙන හඬන්නෙහිය. කිම තෝ දුකට පැමිණියේ වෙහිද, කවර හේතුවකින් දුඃඛිත වූයෙහිද?”
187. “මට රනින් කළ පැහැ විහිදෙන කරත්තයක් තිබේ. ඊට රෝද දෙකක් නැත. ඒ දුකින් ජීවිතය හරින්නෙමි.”
188. “මාණවකය, මට කියව. මම නුඹට රණින් හෝ රිදීයෙන් හෝ මැණිකකින් හෝ රතු කැටයෙන් හෝ කරණ ලද රෝද දෙකක් සොයා දෙමි.”