3. මත්තා ප්‍රේතියගේ කථාව
134. “වෙන්ව පෙනෙන ඉලඇට ඇත්තී, කෘශව නිර්වස්ත්‍රවූවාය. දුර්වර්ණ වූවාය. නහර වැල් ඉල්පී ගියාය. මෙහි සිටින තී කවරියක්ද?”
135. “පූර්ව ජන්මයෙහි මම මත්තා නම් වීමි. තී තිස්ස නම් විය. තීට සම හිමියෙක් ඇත්තියක් වීමි. පව්කම් කොට මේ මිනිස් ලොවින් ප්‍රේත ලෝකයට පැමිණියා වෙමි.”
136. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
137. “ක්‍රොධ ඇත්තියක්ද ඵරුෂ බස් කියන්නියක්ද ඊර්ෂ්‍යා කරන්නියක්ද මසුරු සිත් ඇත්තියක්ද කෛරාටික ගුණ ඇත්තියක්ද වීමි. මම ඒ දුර්භාෂිත නිරර්ථක වචන කියා මෙලොවින් ප්‍රේත ලෝකයට පැමිණියාවෙමි.”
138. “යම්සේ තී ක්‍රොධ කරන්නියක් වීද, සියල්ල මමත් දනිමි. තීගෙන් අනිකක්ම විචාරමි. කවර කර්මයක් හේතුකොටගෙන කසල පස් වලින් ගැවසුන සිරුර ඇතිවීද,
139. “තී ඉස් සෝදා නෑවේ පිරිසිදු වස්ත්‍ර ඇන්දේ සැරසුනිවිය මමද පින්වතියට වඩා ඒ ඉතා වැඩියෙන් අතිශයින් සැරසුනී වීමි.”
140. “ඒ මා බලා සිටියදී ස්වාමියා සමග කථා කළාය. ඒ හේතුවෙන් මාගේ ඊර්ෂ්‍යාව මහත් විය. මට ක්‍රෝධය උපන.
141. “එහෙයින් කුණු පස් ගෙන පසින් තීට දමා ගැසුවෙමි. ඒ අකුශල කර්ම විපාකය හේතුකොට ගෙන පස්වලින් ගැවසුන ශරීර ඇත්තියක් වීමි.
142. “තී මට පසින් දමා ගැසීය. ඒ සියල්ල මමත් දනිමි. තිගෙන් අනිකක්ද විචාරමි. කවර හේතුවකින් කැසීම් රොගයකින් පෙළේද?”
143. “බෙහෙත් ගෙනෙන්නාවූ අපි දෙදෙන වනයට ගියෙමු. තී බෙහෙත් ගෙනායෙහිය. මම වනාහි කසඹිලියා ගෙඩි ගෙනාවෙමි.
144. “ඒ තී නොදන්නා කල්හි තිගේ සයනයෙහි මම ඒ කසඹිලියා ගෙඩි හාත්පස විසුරුවා දැමීමි. ඒ අකුශල කර්මයාගේ විපාක හේතුවෙන් කැසීම් රොගයෙන් පෙළෙමි.”
145. “තී මගේ සයනයෙහි කසඹිලියා කොළ ගෙඩි දැමූ බව දනිමි. තිගෙන් අනිකක් විචාරමි. කවර කාරණයකින් නුඹ නග්න වූවාද?”
146. “මිත්‍රයන්ගේ සමාගමක් විය. නෑයන්ගේ රැස්වීමක් විය. සැමියා සහිතවූ තීද කැඳවන ලද්දී විය. මම වනාහි නොකැඳවන ලදිමි.
147. “ඒ තී නොදැනුවත්වම තිගේ වස්ත්‍රයක් සොරාගතිමි. ඒ අකුශල කර්මයාගේ විපාකයෙහි මම නග්නවීමි.”