2. සාරිපුත්ත මාතුපෙතී කථාව
116. “වෙන්ව පෙනෙන ඉලඇට ඇත්තී, කෘශව නිර්වස්ත්රවූවාය. දුර්වර්ණ වූවාය. නහර වැල් ඉල්පී ගියාය. මෙහි සිටින තී කවරියක්ද?”
117. “මම පෙර අනික් ජාතියකදී නුඹගේ ස්වකීය මව වීමි. ප්‍රේත ලෝකයෙහි උපන්නී, සාපිපාසා දෙකින් මඩනා ලද්දී වෙමි.
118. “මම බැහැර දමනලද කෙළද සොටුද සෙමද සෑයෙහි දවනු ලබන මෘත ශරීරයාගේ වුරුණු තෙලද වැදූ ස්ත්රීන්ගේ ලේ හා ගර්භ මලද,
119. “වණඇත්තවුන්ගේ හා නාසය හා හිස කැපූවන්ගේද යම් ලෙයක් වේද ස්ත්‍රී පුරුෂ ශරීරයන් ආශ්‍රය කළ දේද සාගින්නෙන් මඩනා ලදුව අනුභව කරමි.
120. “ගෙරින්ගේද මිනිසුන්ගේද සැරව හා ලේ අනුභව කරන්නීවෙමි. පිහිටක් නැත්තී වසන තැනක් නැත්තී, සොහොනෙහි දැමූ මළ ඇඳේ නිදමි.
121. “පුතණ්ඩ මා සඳහා දානයක් දුන මැනව, දී මට පින් දෙනු මැනවි. ලේ සැරව බුදීමෙන් මිදෙන්නෙම් නම් යෙහෙක.”
122. දයාවත්වූ ශාරීපුත්‍ර තෙමේ මවගේ වචන අසා මුගලන් තෙරුන්ද අනුරුද්ධ තෙරුන්ද කප්පින තෙරුන්ද ඇමතූයේය
123. කුටි සතරක් කොට සතර දිශාවෙහිවූ සංඝයාට කුටිද ආහාරපාන වර්ගද දුන්නේය. මවට දක්ෂිණාව දිනි.
124. දීමට අනතුරුවම විපාක උපනී. නානාප්‍රකාර දිව්‍ය භොජන සමානවූ භොජනද, දිව්‍ය වස්ත්‍ර සමාන වස්ත්‍රද නොයෙක් පාන වර්ගද උපන, දානයාගේ මේ විපාකයයි.
125. පසුව පිරිසිදු ශරීර ඇතිව පිරිසිදු වස්ත්‍ර හැඳ කසී සලු වලටත් වඩා උතුම් වස්ත්‍ර දරන්නීව විසිතුරු වස්ත්රාභරණ ඇතිව සැරියුත් තෙරුන් වෙත පැමිණ සිටියාය.
126. “පින්වත් දෙව්දුව, යම්බඳුවූ තී විශිෂ්ටවූ ශරීර වර්ණයෙන් ඔෂධීතරුව මෙන් සියලු දිශාවන් බබුළුවමින් සිටින්නෙහිය.
127. “කවර හේතුවකින් තිගේ මෙබඳුවූ ශරීර වර්ණයක් ඇතිවීද, කවර කුශල විශේෂයෙන් තට මෙතැන්හි නිපදීද, තිට සිත් පිනවන වස්තු ලැබෙත්ද?”
128. “මහත් ආනුභාව ඇති දේවතාව, තිගෙන් විචාරමි. මිනිස්වූවා කිනම් පිනක් කළේද? කවර කුශල හේතුවකින් මෙසේ දිලිසෙන ආනුභාව ඇත්තීද තීගේ ශරීර වර්ණයද සියලු දිගුන් බබුළුවයි.”
129. මම පෙර අන්‍ය ජාතිවලදී සැරියුත් තෙරුන්ගේ මව වීමි. සාපිපාසාවෙන් යුක්තව ප්‍රේත ලෝකයෙහි උපන්නෙමි.
130. මම බැහැර දමනලද කෙළද සොටුද සෙමද සෑයෙහි දවනු ලබන මෘත ශරීරයාගේ වුරුණු තෙලද වැදූ ස්ත්රීන්ගේ ලේ හා ගර්භ මලද,
131. වණඇත්තවුන්ගේ හා නාසය හා හිස කැපූවන්ගේද යම් ලෙයක් වේද ස්ත්‍රී පුරුෂ ශරීරයන් ආශ්‍රය කළ දේද සාගින්නෙන් මඩනා ලදුව අනුභව කරමි.
132. ගෙරින්ගේද මිනිසුන්ගේද සැරව හා ලේ අනුභව කරන්නීවෙමි. පිහිටක් නැත්තී වසන තැනක් නැත්තී, සොහොනෙහි දැමූ මළ ඇඳේ නිදමි.
133. සැරියුත් තෙරුන්ගේ දානයෙන් මම සතුටු වෙමි. කිසි බියක් නැතිව ස්වාමීනි, ලෝකයෙහි කරුණාන්විතවූ මුනිවරයන් වහන්සේ වැඳීමට පැමිණියෙමි.”
සාරිපුත්තත්ථෙරස්ස මාතුපෙතවත්ථු දුතියං.
3. මත්තා ප්‍රේතියගේ කථාව
134. “වෙන්ව පෙනෙන ඉලඇට ඇත්තී, කෘශව නිර්වස්ත්රවූවාය. දුර්වර්ණ වූවාය. නහර වැල් ඉල්පී ගියාය. මෙහි සිටින තී කවරියක්ද?”
135. “පූර්ව ජන්මයෙහි මම මත්තා නම් වීමි. තී තිස්ස නම් විය. තීට සම හිමියෙක් ඇත්තියක් වීමි. පව්කම් කොට මේ මිනිස් ලොවින් ප්‍රේත ලෝකයට පැමිණියා වෙමි.”
136. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලෝකයට ගියේද?”
137. “ක්‍රොධ ඇත්තියක්ද ඵරුෂ බස් කියන්නියක්ද ඊර්ෂ්‍යා කරන්නියක්ද මසුරු සිත් ඇත්තියක්ද කෛරාටික ගුණ ඇත්තියක්ද වීමි. මම ඒ දුර්භාෂිත නිරර්ථක වචන කියා මෙලොවින් ප්‍රේත ලෝකයට පැමිණියාවෙමි.”