2. 12.
351. ඒ පොකුණෙහි රනින් කළ හිනිපෙති හා පුවරුද ඇත්තාහ. රුවන්මය වැලි පිහිටියේය. රුචිරවූ පවිත්ර සුවඳැති, සිත්කළුවූ සුදුපියුම් වෙත්.
352. නොයෙක් රුක්මලින් ගැවසීගත්තීය. හාත්පස නන්වැදෑරුම් සුවඳ වෑහෙන සුළං හමන්නීය. නානාවිධ රතු උපුල්වලින් වැසුනු දියතලා ඇත්තීය. හෙළපියුමෙන්ද ගැවසී ගත්තීය.
353. මනොඥව වාතයෙන් කම්පාකරණලද සුවඳ මනාව හමත්. හංසයන් හා කොස්වා ලිහිණියන් විසිනුත් මනාව නාදකරණ ලද්දේය.
354. නානාවිධ පක්ෂි සමූහයාගෙන් ගැවසීගත්තීය. නන්වැදෑරුම් පක්ෂීන්ගේ ශබ්ද සමූහයෙන් යුක්තය. නොයෙක් ඵල දරන්නාවූ වෘක්ෂ ඇත්තාහ. නානාවිධ සුවඳ මල් දරණ වනයෝ ඇත්තාහ.
355. මේ නුවර යම්බඳුවීද මෙබඳු නුවරක් මිනිසුන් අතරෙහි හෙවත් මිනිස් ලොව නැත. තිගේ රන් රිදීමය බොහෝවූ ප්රාසාදයෝ වෙත්.
356. හාත්පස සිවු දිසාවන්හි ඉතාමත් බබලමින් හොබවත්. තිට යම් මේ වතාවත් කරන්නාවූ පන්සියයක් දාස ස්ත්රීහු වෙත්ද, ඒ තිගේ පරිවාර ස්ත්රීහුය.
357. ඒ ස්ත්රීහු සක්වළලු ඇඟපළඳනාවෙන් සැරසුන රුවන් මුදුන් මල් කඩින් මනාව සරසනලද කේශකලාපය ඇත්තාහුය. රන් රිදීයෙන් කළ ආසන තිට බොහෝ වෙත්.
358. කෙහෙල් මුවසම් පසතුරුණු අතුරනලද්දාවූ දික් ලොම් කොඳුපිළියෙන් අතුරන ලද්දාවූ යම් පර්යංකයක සියලු කාමයෙන් සමෘද්ධවූ තී විසීමට යන්නීද,
359. අඩ රැය පැමිණි කල්හි ඒ ආසනයෙන් නැගිට උයන් වත්තට යන්නෙහිය. ගොස් හාත්පස පොකුණු තෙරට පැමිණෙන්නෙහිය.
360. නිල්වූ ලා තණ සමූහ ඇති ශුද්ධවූ ඒ පොකුණු තෙර තී සිටිනෙහිය. ඉන්පසු සිඳුණු කන් ඇති බල්ලෙක් තීගේ ශරීරාවයවයන් කයි.
361. යම්කලෙක සුනඛයා විසින් කනලද්දී ඇටසැකිල්ල පමණක් කරණ ලද්දීවේද, එකල පොකුණට බසින්නෙහිය. පෙරමෙන් ශරීරය ඇතිවෙයි.
362. ඉන්පසු පරිපූර්ණ අංගප්රත්යංග ඇතිව ඉතාම මනරම්වූ ප්රිය දැකුම් ඇත්තාවූ තී වස්ත්රයකින් පොරවාගෙන මා හමුවට එන්නෙහිය.
363. කන්සිඳුනාවූම සුනඛතෙම කිනම් කර්මවිපාකයකින් ශරීරාවයවයන් කයිද, සිතින් කයින් වචනයෙන් කවර නපුරක් කරණලදද?
364. කිම්බිලා නුවර ගෘහපතියෙක්තෙම ශ්රද්ධාවත්වූ උපාසකයෙක් විය. ඕහට මම බිරින්ද වීමි. ස්වාමියා ඉක්මවන සිල් නැත්තියක් වීමි.
365. මෙසේ හිමියා ඉක්මවා හැසිරෙන්නාවූ මාහට හිමි තෙම මෙය කීයේය. යම්හෙයකින් තී මා ඉක්මවා හැසිරෙහිද, මෙය ඡන්නයක් නොවේ. සුදුසු නොවේ.
366. ඒ මම දරුණුවූම දිවුරුම්කොට බොරු කීවෙමි. මම කයින් හෝ නොහොත් සිතින් ඔබ ඉක්මවා නො හැසිරෙමි.
367. ඉදින් මම කයින් හෝ සිතින් නුඹ ඉක්මවා හැසිරෙම් නම් කන්සිඳුනාවූ මේ බලුතෙම ශරීරාවයවයන් අනුභව කෙරේවා.