2. 13.
372. පඤ්චාල රට වැස්සන්ට අධිපතිවූ ශ්රේෂ්ඨවූ බඹදත් නම් රජෙක්විය. රජ තෙම කලකට පසු කළුරිය කෙළේය.
373. එකල්හි ඒ රජුගේ උබ්බරී නම් වූ දේවිතොමෝ ආදාහනස්ථානයට ගොස් හඬයි. බඹදත් රජු නොදක්නී බ්රහ්මදත්තයයි කියා අඬයි.
374. ඒ සොහොනට යහපත් පැවැත්මෙන් යුක්ත නුවණැති තාපසයෙක්තෙම පැමිණියේය. එතන්හි යම් මිනිස්සු රැස්වූවාහුද එහිදී හෙතෙමේද ඔවුන් විචාළේය.
375. හාත්පස නන්වැදෑරුම් සුවඳ හමන්නාවූ මේ සොහොන කවරෙකුගේද, මේ භාර්යාතොමෝ කවරෙකු සඳහා අඬාද? මේ මිනිස්ලොවින් දුරගියාවූ පති වූ අයෙකුට අඬාද?
376. බ්රහ්මදත්තයෙකු නොදක්නි බ්රහ්මදත්තයයි කියා අඬයි. එහි යමෙක් රැස්වසිටියෝද ඔව්හු එහිදී ප්රකාශකළාහුය.
377. නිදුකාණෙනි, බඹදත් රජහට යහපතක්වේවා. ඒ බඹදත් රජුගේ නොයෙක් සුවඳ හමන මේ සොහොන වෙයි.
378. මේ බිරින්ද මිනිස් ලොවින් දුරගියාවූ ස්වාමිවූ බ්රහ්මදත්ත රජු සඳහා බ්රහ්මදත්තයයි කියමින් අඬයි.
379. බඹදත් යන නම් ඇති අසූසාරදහසක් රජවරු මේ සොහොනෙහි දමනලදහ. ඔවුන්ගෙන් කවරෙකු සඳහා ශෝක කරයිද?
380. ස්වාමීනි, චූලනී නම් රජුගේ පුත්වූ මහාරථ නම් යොධයෙක්වූ පඤ්චාලයන්ගේ යම් රජෙක්වීද, සියලු කැමති දේ දෙන්නාවූ ඒ ස්වාමියා සඳහා ශොකකරමි.
381. සියළු රජවරු බඹදත් නමැත්තෝවූහ. සියල්ලෝම පඤ්චාලයන්ට අධිපති චූලනී පුත්රයෝවූහ.
382. සියලු රජවරුන්ට පිළිවෙළින් අගමෙහෙසුන් බව තී කීවෙහිය. කවර හේතුවකින් පළමු රජුන් හැර පසු වූ රජු සඳහා ශොක කෙරෙහිද?
383. නිදුකාණෙනි, යම්බඳුවූ ස්ත්රීභාවයට පැමිණියාවූ මට සසර බොහෝ ජාති කියනසේක්ද, ස්ත්රීභාවයට පැමිණි බොහෝ කල්ද?
384. තී ස්ත්රියක් වූවෙහිය. පුරුෂද වූවෙහිය. තිරිසන් යොනියටද පැමිණියෙහිය. මෙසේ මේ අතීත ආත්මභාවයන්ගේ කෙළවරක් නොදන්නා ලැබේ.
385. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ශොකාග්නියෙන් ගිනි ගත්තාවූම මා ජලය වත්කරන්නෙකු මෙන් සියලු චිත්ත දාහය, නිවන්නේය.
386. මාගේ හෘදය ආශ්රය කළ ශොක නමැති හුල උගුලන ලද්දේය. යමෙක් ශෝකයෙන් පීඩිතවූ මාගේ ස්වාමියා නිසාවූ ශෝකය දුරු කළේද,
387. ඒ මම ඉදිරුණු ශොක නමැති හුල් ඇත්තේ වෙමි. සිහිල් වූයේ වෙමි. නිවුනේ වෙමි. පින්වත් මුනිවරය නුඹේ වචන අසා ශොක නොකරමි, නොහඬමි.
388. ඒ ශ්රමණ තාපසයාගේ සුභාෂිතවූ ධර්ම කථාව අසා පාත්ර සිවුරු ආදිය රැගෙන අනගාරිය ස්ථානයෙහි පැවිදිවිය.
389. ඕතොමෝ ගිහිගෙන් නික්ම තපසට සුදුසු තන්හි පැවිදිවූයේම බඹලොව ඉපදීම පිණිස මෛත්රී ධ්යානය වැඩුවාය.
390. ගමින්ගම නියම්ගමක් පාසා රාජධානියක් පාසා හැසිරෙමින් උරුවෙල් නම් ඒ ගම යම් තැනෙක්හිද එහිදී කළුරිය කෙළේය.
391. බඹලොව ඉපදීම පිණිස මෛත්රී සහගත සිත වඩා ස්ත්රීභාවයෙහි සිත දුරුකොට බඹලොවට පැමිණියේවිය.
උබ්බරීපෙතවත්ථු තෙරසමං.
උබ්බරීවග්ගො දුතියො.
එහි උද්දානය:
පණ්ඩුමාතාද, පිතාද, නන්දාද, කුණ්ඩලිනීද, ඝටද, සෙට්ඨිවරු දෙදෙනෙක්ද, තුණ්ණවායද, විහාර, සුත්ත, සොපාණ හා උබ්බරී දැයි (පෙතවත්ථූහු වෙත්).