2. 11.
344. මා වෙත පැමිණ ඉල්ලන ලද්දාවූ මම ප්‍රව්‍රජිත නම් වූ භික්ෂුවූ පසේ බුදුන්ට පෙර නූල් දුනිමි. ඒ දානයාගේ මහත් ඵල ඇති විපාකය දැන් ලැබෙයි. බොහෝවූම කෙළ ගණන් වස්ත්‍රයෝ මට උපදිත්.
345. නොයෙක් මල්වලින් ගැවසුනාවූ සිත් අලවනලද නානාවිධ චිත්‍රකර්ම ඇති නොයෙක් රුවනින් විසිතුරු රූ ඇති ස්ත්‍රී පුරුෂයන් විසින් සෙවුනා ලද විමන ඒ මම පරිභොග කරමි. කැමති වස්ත්‍රයක් පොරවා ගනිමි. බොහෝ වස්තූපකරණ ඇත්තාහ. එය ක්ෂය නොවෙයි.
346. ඒ නූල් දානමය කුශලකර්මයාගේ හේතුවෙන් සැප විපාකවූ සැපය මේ විමනෙහිදී ලැබේ. ඒ මම නැවතද මිනිස් ලොවට ගොස් කුසල් කරන්නෙමි. ස්වාමිපුත්‍රය මා පමුණුවනු මැනවි.
347. තී අවුරුදු සත් සියයකට උඩදී මේ විමනට පැමිණියාය. ඒ මිනිස්ලොවදී ජාරාජීර්ණවූවාත් වයොවෘද්ධ වූවාත් වන්නෙහිය. තිගේ සියලුම නෑයෝද කළුරිය කළෝය. මෙතැනින් එහි ගොස් කුමක් කරන්නෙහිද?
348. ස්වාමිපුත්‍රය, මෙතනට පැමිණියාවූ දිවසැපත් වැළඳුවාවූ මට අවුරුදු සතක්ම වූහ. ඒ මම නැවත මිනිස් ලොවට ගොස් පින් කරන්නෙමි. එහෙයින් මා මිනිස්ලොවට පමුණුවනු මැනවයි.
349. ඒ විමාන ප්‍රෙතතෙම වයොවෘද්ධවූ අතිශයින් දුර්වලවූ ඒ ස්ත්‍රිය බලාත්කාරයෙන් අතින් අල්වාගෙන නැවත ගමට පමුණුවා මෙතැනට පැමිණියාවූ අනික් ජනයාටත් ‘පින් කරව් සැප ලැබේයයි’ කියවයි කියා ආපසු ගියේය.
350. නොකළාවූ කුශල කර්මයෙන් ප්‍රෙතයෝද එසේම මිනිස්සුද වැනසෙත්. සැප විපාකවූ කුශල කර්මකොට සැපයෙන් දියුණුවූ දෙවිවූද, මිනිස්වූද ප්‍රජාව මා විසින් දක්නාලදී.
සුත්තපෙතවත්ථු එකාදසමං.
2. 12.
351. ඒ පොකුණෙහි රනින් කළ හිනිපෙති හා පුවරුද ඇත්තාහ. රුවන්මය වැලි පිහිටියේය. රුචිරවූ පවිත්‍ර සුවඳැති, සිත්කළුවූ සුදුපියුම් වෙත්.
352. නොයෙක් රුක්මලින් ගැවසීගත්තීය. හාත්පස නන්වැදෑරුම් සුවඳ වෑහෙන සුළං හමන්නීය. නානාවිධ රතු උපුල්වලින් වැසුනු දියතලා ඇත්තීය. හෙළපියුමෙන්ද ගැවසී ගත්තීය.
353. මනොඥව වාතයෙන් කම්පාකරණලද සුවඳ මනාව හමත්. හංසයන් හා කොස්වා ලිහිණියන් විසිනුත් මනාව නාදකරණ ලද්දේය.
354. නානාවිධ පක්ෂි සමූහයාගෙන් ගැවසීගත්තීය. නන්වැදෑරුම් පක්ෂීන්ගේ ශබ්ද සමූහයෙන් යුක්තය. නොයෙක් ඵල දරන්නාවූ වෘක්ෂ ඇත්තාහ. නානාවිධ සුවඳ මල් දරණ වනයෝ ඇත්තාහ.