4828. “එම්බා මාතලී දිව්‍යපුත්‍රය මුදුන් පහක් ඇත්තාවූ මේ විමානයක් දක්නා ලැබේ. එහි යහන්මැද මාලාදීන් පලඳනාලද්දාවූ මහත් ආනුභාව ඇති ස්ත්‍රියක් තොමෝ නොයෙක් ආකාර දිව්‍ය ඍද්ධීන් දක්වමින් හිඳියි.
4829. “සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් ස්ත්‍රියක් තොමෝ මේ විමානයෙහි සතුටු වේද, මේ ස්ත්‍රී තොමෝ කවර යහපතක් කළාදැයි” ඇසීය.
4830. අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
4831. “ඉදින් මනුෂ්‍ය ලෝකයෙහි බ්‍රාහ්මණයෙකුගේ ගෘහ දාසියගේ කුසෙහි උපන් බීරණී නම් දාසියක් වීයයි. ඔබ විසින් අසනලද්දීද, ඕතොමෝ සුදුසු කාලයෙහි ආගන්තුග සත්කාරය දැන දුරසිට ආ පුත්‍රයා දැක වරක් සතුටු වන්නාවූ මව් මෙන් නිරන්තරයෙන් සතුටින් උපස්ථාන කෙළේද, සිල් රැක්කාවූද ත්‍යාග ඇත්තීදවූ ඕතොමෝ මේ විමානයෙහි සතුටුවේයයි” කීයේය.
4832. “මැව්නාවූ දිළිසෙන්නාවූ විමාන සතක් බැබළෙත්. එහි මහත් ඍද්ධි ඇත්තාවූ සියලු දිව්‍යාභරණයෙන් සැරසුනාවූ දිව්‍ය පුත්‍රයෙක් ස්ත්‍රී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ හාත්පස අනුගමනය කරයි
4833. “සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව් ලොවට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටුවේද, මෙ සත්ව තෙමේ කිනම් යහපතක් කෙළේ දැයි” ඇසීය.
4834. අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
4835. “මෙතෙම පෙර ස්වාමිභාවයෙහි සිට දන් දෙන්නාවූ සෝන දින්න නම් ගෘහපති වූයේය. මෙතෙම භික්ෂූන් උදෙසා විහාර සතක් කරවූයේය.
4836. “එහි වසන්නාවූ ඒ භික්ෂූන්ට සකස්කොට උපස්ථාන කෙළේය. වස්ත්‍රද ආහාරද ශයනාසනද පහන් උපකරණද ඍජුවූ ගුණ ඇති භික්ෂූන් කෙරෙහි විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නේය.
4837. “තුදුස්වක් දිනෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහිද අංග අටකින් යුත් සීලය සමාදන්ව,
4838. “සියලු කල්හි ශීලයන්හි සංවරවූයේ පෙහෙවස්ද විසීය. සිල් රැක්කාවූද දන් දුන්නාවූද හෙතෙම මේ විමානයෙහි සතුටුවේයයි” කීයේය.
4839. “පළිඟුවලින් මනාව නිමවන ලද්දාවූ උතුම් ස්ත්‍රී සමූහයාගෙන් ගැවසී ගත්තාවූ උත්තම කූටාගාර වලින් හෙබියාවූ ආහාරපාන වලින්ද නෘත්‍ය ගීතවලින්ද යන දෙකින් යුක්තව මේ විමානය බබළයි.
4840. “සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලි නම් දෙව සාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් කෙනෙක් මේ විමානයෙහි සතුටු වෙද්ද, මේ ස්ත්‍රීහු කිනම් යහපතක් කළාහුදැයි” ඇසීය.
4841. අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
4842. මේ මනුෂ්‍ය ලෝකයෙහි යම්කිසි ස්ත්‍රී කෙනෙක් සිල්වත් උපාසිකාවූවාහුද, දීමෙහි ඇළුනාහුද නිතර පහන් සිත් ඇතිවූවාහුද, සත්‍යයෙහි පිහිටියාවූ පෙහෙවස් රැකීමෙහි අප්‍රමාදවූවාහුද සිල් රැක්කාහුද දාන සංවිභාග ඇතිවූවාහුද ඒ ස්ත්‍රීහු මේ විමානයෙහි සතුටුවෙත්යයි” කීයේය.
4843. වෛඩූර්‍ය්‍ය බිත්තිවලින් මනාව නිමවන ලද්දාවූ සිත්කළු භූමි ප්‍රදෙශයන්ගෙන් යුක්තවූ කොටස් වශයෙන් ප්‍රමාණකොට බෙදන ලද්දාවූ මේ විමානය බබළයි.
4844. “පණාබෙරද මිහිඟු බෙරද නෘත්‍ය ගීතයෝද මනා කොට වාදනය කරණ ලද්දාහු ඇසීමට යෝග්‍යවූ සිත්කළුවූ දිව්‍යමය ශබ්ද නිකුත් කරත්.
4845. “මෙසේ සිත්කළු බවට පැමිණියාවූ මෙසේ ඉතා මනොඥවූ දක්නා ලද හෝ අසනලද හෝ ශබ්දයක් පෙර කිසිකලෙකත් මම නොදකිමි.
4846. “සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් කෙනෙක් මේ විමානයෙහි සතුටු වෙද්ද, මේ සත්වතෙම කිනම් යහපතක් කළාහු දැයි” ඇසීය.
4847. අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
4848. “මේ මනුෂ්‍ය ලෝකයෙහි යම්කිසි මනුෂ්‍යකෙනෙක් සිල්වත් උපාසකවූවාහු ආරාමයන්ද පැන් පොකුණුද පැන් ශාලාවන්ද සක්මන් මලුද, සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද