5. ඛණ්ඩහාල ජාතකය
4914. “පෙර පුෂ්පවතී නම් නුවර රෞද්රකම් ඇත්තාවූ ඒකරාජයයි ප්රසිද්ධවූ රජෙක්වූයේය. හෙතෙම ඛණ්ඩහාල නම්වූ මූඪවූ පුරෝහිත බ්රාහ්මණයා විචාළේය.
4915. “එම්බා බ්රාහ්මණය, නුඹ සුචරිත ධර්මයෙහිද ආචාර විනයෙහිද දක්ෂවෙහිය. යම්සේ මනුෂ්යයෝ පින්කම්කොට මෙලොවින් සුගතියට යෙද්ද, එසේ දෙව්ලොවට යන මට කියවයි” රජතෙම කීයේය.
4916. “මහරජ, අතිදාන නම් දානයදී නොනැසිය යුත්තන් නසා මෙසේ මනුෂ්යයෝ පින්කොට සුගතියටයෙත්යයි” පුරෝහිත බමුණා කීයේය.
4917. “ඒ අතිදානය නම් කුමක්ද? මේලෝකයෙහි නොනැසිය යුත්තෝ කවරහුද, මෙයද අපට කියව. යාගය කරන්නෙමු. දන්දෙමුයි” රජතෙම කීයේය.
4918. “දෙවයන් වහන්ස, පුත්රයන්ගෙන්ද මෙහෙසින්ගෙන්ද සිටුවරුන්ගෙන්ද වෘෂභයන්ගෙන්ද ආජානීය අසුන්ගෙන්ද යන මොවුන් සතර දෙනෙක් බැගින්ගෙණ යාග කටයුතුයි. දෙවයන් වහන්ස, සබ්බ චතුක්ක නම් යාගයක් කටයුතුයයි” පුරෝහිතයා කීයේය.
4919. රජකුමරුවෝද මෙහෙසීහුද නසනු ලබත්වායි ‘එය අසා අන්තඃපුරයෙහි උස්ව නැංගාවූ බිහිසුනු ශබ්ද ඇති එකම ඝෝෂාවෙක් වූයේය
4920. “යව්. චන්දකුමාරයාද සුරිය කුමාරයාද භද්දසේන කුමාරයාද වාමහොත්ත ශූරනම් කුමාරයාද යන රජ කුමරුවන්ට යාගය පිණිස එක්තැනකට රැස්වව්යයි කියව්යි” රජ නියම කෙළේය.
4921. “උපසේනීද කෝකිලාද මුදිතාද නන්දා කුමරියද යන රාජ කුමාරිකාවන්ටද යාගය සඳහා එක්තැනකට රැස්වව්ය කියව්යී” රජතෙම කීයේය.
4922. “විජයානම් මාගේ මෙහෙසියද ඒ රාවතීද කේශිනීද සුනන්දාද යන උතුම් ලක්ෂණවලින් යුක්තවූ මාගේ මේ මෙහෙසීහුද යාගය සඳහා එක්තැනකට රැස්වව්යයි කියව්යී” රජතෙම කීයේය.
4923. පුණ්ණ මුඛය, භද්දියය, සිඟලාය, වද්ධ නම් ගෘහපතියාද යන සිටුවරුන්ටද යාගය සඳහා එක්තැනකට රැස්වව්යී කියව්යයි” රජතෙම කීයේය.
4924. “එහි රැස්වූ අඹුදරුවන් විසින් පිරිවැරූ ඒ ගෘහපතීහු රජුට මෙසේ කීවාහුය. දෙවයන් වහන්ස, අප සියල්ල මුදුනෙහි සිළු තබා දාසයන් කරණු මැනව. තවද අප නොමරා පිරිස් මැද දාසයන්කොට අස්වනු මැනවැයි” කීවාහුය.
4925. “අභයන්කර නම් ඇතුද නාලාගිරිනම් ඇතුද අච්චුත නම් ඇතුද වරුණදන්ත නම් ඇතුද යන ඔවුන් වහා ගෙනෙව්. ඒ ඇත්තු යාගය පිණිස” වන්නාහුය.
4926. “කේශීනම් අශ්වරත්නයද, සුරාමුඛද, පුණ්ණකද, විනතකද යන ඒ අශ්වරත්නයන් වහා ගෙනෙව්” ඒ අශ්වයෝ යාගය පිණිස වන්නාහුය.
4927. “යුථපති නම් වෘෂභයාද, අනෝජ නම් වෘෂභයාද, තිසහ නම් වෘෂභයාද, ගවම්පතී නම් වෘෂභයාද, යන මාගේ ඒ වෘෂභයන්ද ගෙණෙව්. මා විසින් කියනලද මේ සියල්ල ලඟා කෙරෙත්වා. යාගය කරන්නෙමු, දන්දෙමු.
4928. “මේ සියල්ල පිළියෙල කරව්. සූර්ය්යයා උදාවූ කල්හි යාගය කරන්නෙමු. මේ රාත්රීය අභිරමණය කෙරෙත්වායි රජකුමරුවන්ටද අණකරව්.
4929. “සෙසු සියලු යාග උපකරණද ලන්කොට තබව්. යාගය වනාහි හිරුඋදාවූ කල්හි උදෑසනම කරන්නෙමි. අද නුඹලාගේ අන්තිම රාත්රීයයි දැන් රජකුමරුවන්ට කියව්යි” රජතෙම කීයේය.
4930. තමා උන් විමානයෙන් ආවාවූ රජුගේ මව්තොමෝ හඬමින් ඒ මේ රජුට මෙසේ කීය. “එම්බා පුත්රය, ඔබගේ පුතුන් සතර දෙනාගෙන් යාග කිරීමක් නම් වන්නේ දැයි” ඇසීය.
4931. “චන්ද්රකුමරු නසනු ලබන කල්හි මාගේ සියලුම පුත්රයෝ යාගය පිණිස හරණලදහ. පුතුන් කරණකොට ගෙණ යාගය කොට සුගති නම් දෙව්ලොවට යන්නෙමියි” රජතෙම කීයේය.
4932. “එම්බා පුත්රය, දරුවන් මරා යාග කිරීමෙන් සුගතියක් නම් වේයයි නොඅදහව. සතර අපායට මේ මාර්ගයවේ. මෙතෙම ස්වර්ගයන්ට මාර්ගය නොවේ
4933. “කොණ්ඩඤ්ඤ ගොත්ර ඇති පුත්රය, දන්දෙව. ඇතිවූද ඇතිවිය යුතුවූද සියලු සත්වයන්ට අවිහිංසාකරව. මෙතෙම සුගතියට යන මාර්ගයවේ. දරුවන් මරා කරණ යාගයෙන් ස්වර්ගයට යන මාර්ගයක් නැත්තේයයි” මව කීය.
4934. “මෑනියෙනි, පුරෝහිතාචාරීන්ගේ කීමෙන් චන්ද කුමරුද සුරිය කුමරුද නසන්නෙමි. අත්නොහැරිය හැකිවූ පුතුන් කරණකොටගෙණ යාගකොට සුගති නම් දෙව්ලොවට යන්නෙමියි” රජතෙම කීයේය.