4. නිමි ජාතකය
යම් කලෙක්හි පණ්ඩිතවූ කුසල් කැමතිවූ නිමි රජ තෙම වීද, එකල්හි මෙබඳු දක්ෂවූ පණ්ඩිතයෝ ලොව පහළ වෙත්යයි දෙවි මිනිසුන්ට ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයක් විය.
සතුරන් දමනය කරන්නාවූ සියලු විදෙශවාසීන්ගේ රජවූ හෙතෙම දානය දුන්නේය. ඒ දානය දෙන්නාවූ ඒ රජහට මෙබඳු කල්පනාවක් පහළවිය. ‘දන්දීම හෝ සිල් රැකීම හෝ යන මොවුන්ගෙන් කවරක් නම් මහත්ඵල වේද?’ කියායි.
දෙවියන්ට නායකවූ දහසක් නුවණැස් ඇත්තාවූ ශක්‍රතෙම ඒ රජුගේ කල්පනාව දැන ශරීරාලෝකයෙන් අඳුරු දුරුකෙරෙමින් පහළවිය.
ලොමු ඩැහැගත්තාවූ ඒ නිමි රජතෙම ශක්‍රයාට මෙසේ කීයේය. “ඔබ දෙවතාවෙක් වෙහිද, ගන්ධර්වයෙක් වෙහිද, නොහොත් පූරින්දද නම් ශක්‍රයා වෙහිද?”
“ඔබඳුවූ වර්ණයක් මා විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ නොමවේ. පින්වත, මට කියනු මැනව, අපි ඔබ කෙසේ දනිමුද?”
ඒ සක්දෙව් රජතෙම ආලෝකය දැක භයින් ලොමු ඩැහැගත්තාවූ නිමි රජහු දැන මෙසේ කීයේය. “මම ශක්‍ර දෙවෙන්ද්‍ර වෙමි. ඔබගේ සමීපයට ආයෙමි.”
“මහරජ, යම් ප්‍රශ්නයක් අසනු කැමැත්තෙහි නම් නිර්භයව අසව.” ඒ නිමි රජතෙමේද ඒ සක්දෙව් රජු විසින් කරණලද අවකාශ ඇත්තේ සක්දෙව් රජුට මෙසේ කීය.
“මහත් බාහු ඇත්තාවූ සියලු භූතයන්ට අධිපතිවූ ශක්‍රදෙවේන්ද්‍රය, ඔබ විචාරමි. දන්දීම හෝ සිල් රැකීම හෝ යන මෙයින් කවරක් නම් මහත්ඵල වේද?”
නර ශ්‍රේෂ්ඨයා විසින් අසන ලද ඒ සක්දෙව් රජ තෙම නිමිරජුට මෙසේ කීය. බ්‍රහ්මචර්‍ය්‍යාවගේ හෙවත් ශීලයාගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට කීයේය.
ලාමකවූ බ්‍රහ්මචරිය ශීලයෙන් රජ කුලයෙහි උපදී. මධ්‍යමවූ බ්‍රහ්මචරිය ශීලයෙන්ද දෙව් බවට පැමිණේ. උතුම්වූ බ්‍රහ්මචරිය ශීලයෙන් පිරිසිදුවේ.
“ගිහිගෙයින් නික්මුනාවූ තපස් රකින්නාවූ යම් කෙනෙක් බ්‍රහ්ම කයෙහි උපදිද්ද, යාචකයන්ට සුදුසුවූ හෙවත් දන් දෙන්නාවූ කිසිවෙකු විසිනුත් මේ බ්‍රහ්ම කායයෝ නොලැබ හැක්කාහු වෙත්යයි” කීයේය.
“මහරජ, පෙර බරණැස් නුවර දුදීප නම් රජය. සාගර නම් රජය, සේලය මුචලින්දය, භගීරශය, උසීනරය, අට්ඨකය, අස්සකය, පෘථජ්ජනය, යන,”
“මේ රජවරුද අන්‍යවූ ක්ෂත්‍රිය රජවරුද බොහෝවූ බ්‍රාහ්මණයෝද නොයෙක් ආකාරයෙන් දන්දීම කොට ඔව්හු කාමාවචර භූමියයි කියන ලද මේ ප්‍රේත ලෝකය නොයික්මවූවාහුයයි” කීයේය.
“යම් කෙනෙක් ඒකාන්තයෙන් දෙවැන්නක් නැත්තාහු එකලාවූවාහු සිත් නොඅලවත්ද, යම්කෙනෙක් විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය නොලබද්ද, කිසිසේත් ඔව්හු ඉන්ද්‍රයාට හා සමාන සම්පත් ඇත්තාහු වෙද්ද, අනුන් අයත් සැප ඇත්තාවූ ඔව්හු ඒකාන්තයෙන් බැගෑපත්වූවාහු යයි” කියනු ලැබෙත්.