මහානිපාතය
1. මූගපක්ඛ ජාතකය
4320. “පුත තේමිය කුමාරය, පණ්ඩිත බව ප්රකාශ නොකරව, සියලු සතුන්ට බාලයයි සම්මතවූවෙක් වෙව, සියලු ජනතෙමේ තා කාලකණ්ණියයි බැහැර කෙරේවා. මෙසේ ඇති කල්හි තොපට වැඩෙක්වන්නේ යයි” ඡත්රයෙහි අධිගෘහිත දෙවතාතොමෝ කීය.
4321. “එම්බා දෙවතාවෙනි, මට යමක් කියන්නෙහිද, මම ඔබගේ ඒ වචනය කරමි. මෑණියෙනි, ඔබ මට වැඩ කැමැත්තෙහිය. දෙවතාවෙනි ඔබ මට හිත කැමති තැනැත්තියක් වෙහියයි” කුමාරතෙම කීයේය.
4322. “එම්බා සාරථිය, කුමක් සඳහා යුහුසුළුවම වළක් සාරන්නෙහිද, යහළුව, විචාරණලද්දේ මට කියව, මෙවලින් කුමක් කරන්නෙහිදැයි” තේමිය කුමරු ඇසීය.
4323. “අප රජහුගේ ගොළුවූද පිළුවූද සිතිවිලි නැත්තාවූ පුත්රයෙක් උපන්නේවේ. ඒ මම රජහු විසින් මාගේ පුත්රයා වනයෙහි වළලවයි අණලද්දේ වෙමියි” රියැදුරා කීයේය.
4324. “එම්බා සාරථිය, මම බිහිරිනොවෙමි. ගොළුවෙක්ද නොවෙමි. කොරෙක්ද නොවෙමි. පිලෙක්ද නොවෙමි. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්මයක් කරන්නෙහිය.
4325. “මාගේ කලවාදෙකද අත්දෙකද බළව, මාගේ කථාවද අසව, එම්බා සාරථිය, ඉදින් තෝ මාවනයෙහි වළලන්නෙහිනම් අධර්මයක් කරන්නෙහියයි” තේමිය කුමරු කීයේය.
4326. “ඔබවහන්සේ දෙවතාවෙක්වෙහිද, ගන්ධර්වයෙක් වෙහිද, නොහොත් පුරින්දද නම් ශක්රයා වෙහිද, ඔබ කවරෙක් හෝ වෙහිද, කවරෙකුගේ පුත්රයෙක් හෝ වෙහිද, අපි ඔබ කෙසේ දනිමුදැයි” සාරථිතෙම ඇසීය.
4327. “මම දෙවියෙක් නොවෙමි. ගන්ධර්වයෙක්ද නොවෙමි. පුරින්දද නම් ශක්රයාද නොවෙමි. යමෙකු වලෙහි වළලන්නෙහි නම් කශීරජහුගේ පුත්රවූ ඒ මම වෙමි.
4328. “එම්බා සාරථිය, තෝ යමෙකු නිසා ජීවත් වෙහිද, මම ඒ රජහුගේ පුත්රවෙමි. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්මයක් කරන්නෙහිය.
4329. “යම් වෘක්ෂයක්හුගේ සෙවෙනෙහි යමෙක් හිඳින්නේ හෝ වේද, සයනය කරන්නේ හෝ වේද, ඒ වෘක්ෂයෝ අත්ත නොබිඳිය යුත්තේය. කුමක් හෙයින්ද යත්, මිත්රද්රෝහිකම ලාමකවේ.
4330. “සාරථිය, වෘක්ෂය, යම්සේද, රජතෙම එසේය, අත්ත යම්සේද මම එසේයි සෙවනට පැමිණි පුරුෂතෙම යම් සේද තෝ එසේ වෙහිය, එම්බා සාරථිය, ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්මයක් කරන්නෙහියයි” තේමිය කුමරු කීයේය.
4331. “යමෙක් මිත්රයන්ට ද්රෝහ නොකෙරේද හෙතෙම සිය ගෙදරින් පිටත්ව ගියේ බොහෝ අනුභව කිරීම ඇත්තෙක්වේ. බොහෝදෙනා ඔහු අනුව ජීවත් වන්නාහුදවෙත්.
4332. “යමෙක් මිත්රයන්ට දූෂ්ය නොකෙරේද, හෙතෙම යම් යම් ජනපදයකටයේද, නියම්ගම්වලටයේද, රාජධානිවලටයේද, සියලු තන්හි පුදන ලද්දෙක්වේ.
4333. “යමෙක් මිත්රයන්ට දූෂ්ය නොකෙරේද, මොහුට සොරු බලහාත්කාරකම් නොකෙරෙත්. ක්ෂත්රියතෙම ඔහු ඉක්මවා නොහඟියි. හෙතෙම සියලු සතුරන් ඉක්මවයි.
4334. “යමෙක් මිත්රයන්ට ද්රෝහ නොකෙරේද, හෙතෙම නොකිපියේ ස්වකීය ගෙදරට පැමිණෙයි. සභාවෙහි සතුටු වූයේ වෙයි. නෑයන්ට උත්තමයෙක් වෙයි.
4335. “යමෙක් මිත්රයන්ට ද්රෝහ නොකෙරේද, හෙතෙම අනුන්ට සත්කාරකොට තෙමේ සත්කාර ලද්දෙක්වේ. අනුන් කෙරෙහි ගෞරව සහිතවූයේ තෙමේද ගරු කටයුත්තෙක්වේ. ගුණ වර්ණනාවද කීර්තියද උසස් කොට හැසිරෙන්නෙක් වේ.
4336. “යමෙක් මිත්රයන්ට ද්රෝහ නොකෙරේද, හෙතෙම මිත්රයන්ට පුදන්නේ තෙමේද පූජා ලබයි. වැඳිය යුත්තන්ට වඳින්නේ තෙමේද නැවත වැඳුම් ලබයි. යශපරිවාර සම්පත්තියටද ගුණකීර්තියටද පැමිණේ.
4337. “යමෙක් මිත්රයන්ට ද්රෝහ නොකෙරේද, හෙතෙම ගින්නක් මෙන් දිළිසෙයි. දේවතාවෙකු මෙන් බබළයි. ශ්රී දේවිය විසින් නොහරින ලද්දේ වෙයි.