6551. “ජාලිය කුමරුවෙනි, නැගිටුව, පෙරමෙන් අදත් දන් දීමට තිබේ. බමුණෙකු මෙන් පෙනේ. මට ප්රීතිය ඉතිරේ”
6552. “යම් ඒ බ්රාහ්මණයෙක් මෙන් පෙනෙන්නා, පියාණෙනි මමත් දකිමි. යමක් කැමැත්තෙකු මෙන් එයි. අපගේ ආගන්තුකයෙක් වන්නේය.
6553. “පින්වත සැප කෙසේද කිමෙක්ද, පින්වත්හට දුකක්නැද්ද, කිමෙක්ද, සිඟීමෙන් ජීවත්වන්නෙහිද? කිමෙක් මුල් ඵල බොහෝ ලැබේද?
6554. “කිමෙක්ද, ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද සර්පයෝද අඩුද? වල්මුවන් ඇති වනයෙහි හිංසාවක් නැත්තේද?”
6555. “බ්රාහ්මණය, මට යහපති. බ්රාහ්මණය, නැවතද මට දුකක් නැත. නැවතද පිඩු සිඟීමෙන් යැපෙමි. නැවතද මුල් ඵල බොහෝයි.
6556. “නැවත ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද අඩුය. චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි මට හිංසාවක් නැත.
6557. වනයෙහි සොවින් ජීවත්වන අපට මේ සත්වන මාසයයි. (වනයෙහි) ජීවත්වන්නාවූ අපි ඛෙළුව ලී දණ්ඩක් ද ගිනි දෙවියන් පුදන හැන්ද ද පැන් කළය ද ගත් දෙවි වන් බමුණකු මේ පළමුව දකිමු.
6558. “මහණ බමුණ තොපට යහපත් පැමිණීමක් වේවා. නැවත ඔබට අදූරාගමනය වේවා. පින්වතානෙනි ඇතුළට එන්න. ඔබගේ පාදයන් සෝදාගන්න.
6559. “බ්රාහ්මණය උතුම් උතුම්වූ තිඹිරිද, කෝන්ද, මිහිරී කාසුමාරියද, යන කුඩා සුදුසු, හොඳ හොඳ ගෙඩි වර්ග අනුභව කරන්න
6560. “මහාබ්රහ්මය, ඉදින් ඔබ කැමැත්තෙහි නම් පර්වත කුහරයෙන් ගෙන ආ සිහිල්වූ මේ පැන් පානය කරණු මැනව”
6561. “නැවත ඔබ කිනම් කරුණකට කුමක් හේතුකොට ගෙන මහ වනයට පැමිණියෙහිද, විචාළ මට එය කියව.”
6562. “පිරුණු මහ ගඟක් හැමකල්හි අඩු නොවේද එසේ ඔබගෙන් ඉල්වීමට පැමිණියෙමි. ඉල්වූ මට දරුවන් දෙනු මැනව.”
6563. “දෙමි, වෙනස් නොකරමි. බමුණ මගේ දරුවන්ට ස්වාමියාවූයේ ගෙනයව. උදේ ගිය රජ බිසව සවස ඵලවැලින් යුක්තව එයි.
6564. “බමුණ එක් රැයක් නැවතී උදෑසනම යව. ඈ දරුවන් නෑවූ කල්හි මල් පැළඳවූ කල්හි, හිස සිඹි කල්හි,
6565. “බමුණ එක් රැයක් වැස උදෑසනම යව. බමුණ නොයෙක් වස්ත්ර ඇන්දවූ නොයෙක් සුවඳ ගල්වන ලද නොයෙක් මුල් ඵලද ගත් දරුවන් රැගෙන යන්න.”
6566. “මහරජ, සිටීමට කැමති නොවෙමි. මම යාම කැමතිවෙමි. මට අන්තරායක් වන්ට බැරි නැත. මහොත්තමය, යන්නෙම් මය.
6567. “මහරජ, මේ ස්ත්රීහු ඉල්ලීමට නුසුදුසුය. දීමටද ලැබීමටද අනතුරු කරත්. ස්ත්රීහු මන්ත්ර දනිත්. සියල්ල නුහුරට ගනිත්.
6568. “මහරජ, ශ්රද්ධාවෙන් දන් දෙන්නාට මේ මවු නොපෙනේවා, ඕතොමෝ දීමට අන්තරාවක්ද කරන්නීය. යන්නෙම්මය.
6569. “ඔබගේ දරුවන්ට කථා කරව. ඔවුන්ට මවු නොපෙන්වාවා. ශ්රද්ධාවෙන් දන් දෙන්නාට මෙසේ පින් වැඩෙයි.
6570. “ඔබගේ දරුවන්ට කථා කරණු මැනව. ඔවුන්ට මවු නොපෙන්වව. මා වැන්නෙකුට දන් දී රජුනි දෙව්ලොව යන්න.
6571. “ඉදින් ඔබ පතිව්රතාවූ මාගේ භාර්ය්යාව දක්නට නොකැමැත්තෙහි නම් දරුවන්ගේ මුත්තනුවන්ටද ජාලිය කෘෂ්ණජිනා දෙදෙන පෙන්වව.
6572. “යහපත්වූ ප්රිය වචන කථා කරණ මේ කුමරුවන් දැක සතුටුවූ යහපත් සිත් ඇත්තේ ඔබට බොහෝ ධනය දෙන්නේය.”
6573. “රාජපුත්රය, මා කියන්නක් අසනු මැනව. දරුවන් පැහැර ගනිතැයි බිය ඇත්තෙමි. රජතෙම දඬුවමට මා අමාත්යයන්ට හෝ දෙන්නේය. විකුණන්නේය නසන්නේය. ධනයෙන් ද දාසයන්ගෙන් ද දිනූ මම නැවත බැමිණියගෙන්ද අපවාද ලබන්නේය.”
6574. “යහපත්වූ ප්රිය කථා කරන්නාවූ මේ කුමරුවන් දැක සිවීන්ගේ රට වඩන ධර්මයෙහි පිහිටි මහරජතෙම සතුටට සොම්නසට පැමිණ තොපට බොහෝ ධනය දෙන්නේය.”