547. වෙස්සන්තර ජාතකය
1655. සක්දෙව් රජ:-“ඵුසති දෙවීනි, උතුම් වර්ණ හා ආලෝක ඇත්තිය, දස වැදෑරුම් වරයක් ගනුව. උතුම් ලකුණින් යුත් තැනැත්තිය යමක් තොපගේ සිතට ප්‍රිය නම් පොළොවින් එය ගනුව.”
1656. ඵුසති දේවී:-“දිව්‍යරාජය, ඔබට නමස්කාර වේවා. මා විසින් කිනම් පාපයක් කරණ ලද්දේද, ගසක් වාතයෙන් මෙන් මා සිටින යහපත් තැනින් පහකරන්නෙහිද?”
1657. “තොප විසින් කරණ ලද පවක් නැත. මට තොප අප්‍රියද නොවේ. මම යමක් නිසා තොපට මෙසේ කියම්ද, එනම් තොපගේ පින ක්ෂය විය.
1658. “තොපගේ මරණය ආසන්නයේදී වෙන්වීම වන්නේය. මා විසින් දෙන්නාවූ මේ වර දසය පිළිගනුව”
1659. “සියලු සත්වයන්ට අධිපතිවූ සක්දෙව් රජාණෙනි, ඉදින් මට වරයක් දුන්නෙහි නම්, ඔබට යහපතක් වේවා. ස්වාමීනි, සිවිරජහුගේ මාලිගයෙහි අග්‍ර මහෙෂිකා වන්නෙමි.
1660. “සක්දෙව් රජුනි, එහිද නිල්වන් නෙත් ඇති මුව දෙනක මෙන් නිල් බැම ඇති, නිල් ඇස් ඇති ඵුසති යන නමින් වන්නෙමි.
1661. “කැමති වස්තු දෙන්නාවූ ඉල්ලීමට යොග්‍යවූ නොමසුරුවූ කීර්ති ඇත්තාවූ යශස් ඇත්තාවූ යටත් රජුන් විසින් පුදන ලද්දාවූ පුත්‍රයකු ලබන්නෙමි.
1662. “ගැබ දරණ මගේ මැදකොටස උස් නොවේවා. සමව ලියවූ දුන්නක් මෙන් බඩ උස් නොවූවක් වේවා.
1663. “සක්දෙව් රජුනි, මාගේ පයෝධර නොඑල්බේවා. පැසුණු කෙස් නොවේවා. ශරීරයෙහි ධූලි නොතැවරේවා. වධයට අසුවූවන් මුදන්නටද හැකිවේවා.
1664. “ස්වාමීනි මොණරුන් විසින් හෝ කොස්වා ලිහිණියන් විසින් නාද කරණ ලද ශ්‍රේෂ්ඨ ස්ත්‍රී සමූහයා ගෙන් යුක්තවූ කුදුහුය, සළු වඩන්නෝ යන මොවුන් ගෙන් ගැවසුණු භොජන කාලය දන්වන, සුත මාගධයන් විසින් වර්ණනා කළ,
සත්රුවනින් විසිතුරුවූ දොරකවුළුවලින් විසිතුරු ශබ්ද පවත්වන්නාවූ සුරා මස්වලින් ප්‍රබොධ කරවන ජනයා ඇත්තාවූ එහි සිවි රජහුගේ අගමෙහෙසිය වන්නෙමි.
1666. “සියලු අංගයෙන් උතුම්වූ යම් ඒ වර දසය මා විසින් දෙන ලදී ඔබ ඒ සියළු වරයන් සිවි රජුගේ රටෙහිදී ලබන්නෙහිය.”
1667. මඝ නම්වූ සුජාතාවගේ හිමියාවූ දිව්‍යරාජවූ සක්දෙව් රජ මෙසේ කියා ඵුසතියට වර දී සතුටු සිත් ඇත්තේ විය.
දසවරගාථා.
[ඉක්බිති ඒ ඵුසතිතොමෝ ඉන් චුතවූවා ක්ෂත්‍රීය කුලයෙහි උපන්නීය. ජෙතුත්තර නම් නුවර සඤ්ජය සමාගම් වූවාය.
“මාස දහයක් දරා නගර ප්‍රදක්ෂිණාව කරන්නී වෙළඳ වීථිය මැද ඵුසති තොමෝ මා වැදුවාය.
“මගේ නම, මවු පසට අයත් නොවේ. පිය පසට අයත් නොවේ. වෙළඳ වීථියක උපන්නෙමි. එනිසා වෙස්සන්තර වීය.
“යම් කලෙක මම උත්පත්තියෙන් අට හැවිරිදිවූ ළදරුවෙක් වූයෙම්ද, එකල්හි ප්‍රාසාදයෙහි හිඳ දන් දෙන්නට සිතුවෙමි.
“ඉදින් යමෙක් මගෙන් ඉල්වන්නේ නම් පපු මස දෙන්නෙමි. ඇස්ද, මස්ද, ලේද, විචාර, ශරීරය පවා දෙන්නෙමි.
“නොසෙල්වෙන, නොපිහිටන ස්වභාවය සිතන්නාට මහමෙර හා වන නමැති මුදුන් මල්කඩ ඇති පෘථිවිය කම්පා විය. ]
1668. “බෙහෙවින් වැඩුණු කිසිලි ලොම් හා නිය ඇති මල බැදුනු දත් ඇති ධූලි තැවරුණ හිස් ඇති බමුණෝ දකුණු අත ඔසවා මගෙන් කුමක් ඉල්වත්ද?
1669. “සිවීන්ගේ රට වර්ධනය කරණ රජතුමනි, වටිනා දෙයක් ඉල්වමු. නගුලිස් වැනි දළ ඉසිළීමට සුදුසු ශ්‍රේෂ්ඨ ඇතා දෙනු මැනව.”
1670. “බමුණෝ මගෙන් යමක් ඉල්වත්ද? මද බිඳුණු දළ ඇත්තාවූ රාජවාහනවූ ඇත් රජු දෙමි. වෙනස් නොකරමි’