යන්නාවූ ඒ බ්‍රාහ්මණතෙමේ අච්චුත තාපසයා දුටුවේය. බ්‍රාහ්මණතෙම ඔහු දැක තාපසයා සමග සතුටුවිය.
පින්වත සැප කෙසේද කිමෙක්ද, පින්වත්හට දුකක්නැද්ද, කිමෙක්ද, සිඟීමෙන් ජීවත්වන්නෙහිද? කිමෙක් මුල් ඵල බොහෝ ලැබේද?
කිමෙක්ද, ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද සර්පයෝද අඩුද? වල්මුවන් ඇති වනයෙහි හිංසාවක් නැත්තේද?
බ්‍රාහ්මණය, මට යහපති. බ්‍රාහ්මණය, නැවතද මට දුකක් නැත. නැවතද පිඩු සිඟීමෙන් යැපෙමි. නැවතද මුල් ඵල බොහෝයි.
නැවත ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද අඩුය. චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි මට හිංසාවක් නැත.
වර්ෂ බොහෝ ගණනක් ආශ්‍රමයෙහි වසන්නාවූ මට සිතට අප්‍රිය ලෙඩක් ඇතිවූ බවක් නොදනිමි.
මහණ බමුණ තොපට යහපත් පැමිණීමක් වේවා. නැවත ඔබට අදූරාගමනය වේවා. පින්වතානෙනි ඇතුළට එන්න. ඔබගේ පාදයන් සෝදාගන්න.
බ්‍රාහ්මණය උතුම් උතුම්වූ තිඹිරිද, කෝන්ද, මිහිරී කාසුමාරියද, යන කුඩා සුදුසු, හොඳ හොඳ ගෙඩි වර්ග අනුභව කරන්න
මහාබ්‍රහ්මය, ඉදින් ඔබ කැමැත්තෙහි නම් පර්වත කුහරයෙන් ගෙන ආ සිහිල්වූ මේ පැන් පානය කරණු මැනව
යමක් දෙනලද්දේද, එය පිළිගන්නාලදී. සියල්ල අගයකොට සලකමි. සඤ්ජයගේ ස්වකීය පුත්‍රයා සිවීන් විසින් රටින් පිටකරණලදී. මම ඔහු දැකීමට පැමිණියෙමි. ඉදින් දන්නෙහි නම් මට කියන්න.
පින්වතා සිවි රජු පින් පිණිස දැකීමට නොඑයි. රජුගේ පතිව්රතා භාර්‍ය්‍යාව පින්වතා පතන්නෙහියයි සිතමි.
කෘෂ්ණජිනාව දාසියකකොට බලාපොරොත්තු වෙමියි සිතමි. ජාලිය කුමාරයා දාසයෙකුකොට බලාපොරොත්තු වෙහිද, නොහොත් තුන් මව් පුතුන් කැලෙන් ගෙනයන්ට ආයෙහිද? බමුණ, ධන ධාන්‍ය භොගයක් ඔහුට විද්‍යමාන නොවේ.
මම කෝපයෙන් තොර ස්වභාව ඇත්තේ වෙමි. මම පින්වතාගෙන් ඉල්වන්නට නොපැමිණියෙමි. ආර්‍ය්‍යයන්ගේ දැකීම යහපත්ය. එකට වාසය හැමකල්හි සැපය.
සිවීන් විසින් පිටුවහල් කරණලද සිවිරජු නුදුටුයෙමි. මම ඔහු දක්නට ආමි. ඉදින් දනිහි නම් කියව.
මහා බ්‍රාහ්මණය, යම්තැනෙක්හි දරුවන් සහ වෙස්සන්තර රජතෙම වසාද අර පෙනෙන්නේ ගන්ධ මාදන නම් ගල් පර්වතයයි
කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
මේ නිල්වූ නොයෙක් ගෙඩි දරණ වෘක්ෂයෝ දක්නා ලැබෙත්. අඳුන් පර්වතයන් හා නිල්වලාකුළු මෙන් උඩට නැංගාහ.
එකවරක් පමණ බිව් මත්පැන් පානය කරන්නන් මෙන් ධවය අශ්වකර්ණය කිහිරිය යන ගස්ද, සල් ගස්ද, කොලොම්ගස්ද මාලුවා වැල්ද වාතයෙන් වෙවුලත්.
වෘක්ෂ ශාඛාවන් මත්තෙහි සංගීතයක්ම ඇසෙනු ලැබේ. නෘත්‍යයට ප්‍රිය කොවුල් සමූහය වෘක්ෂයෙන් වෘක්ෂය පනිත්.
සෙලවෙන අතු කොළ යන්නහු කැඳවන්නාක් මෙන් පැමිණීමට කැමති කරවන්නා මෙනි. යම්තැනෙක්හි වෙස්සන්තර රජතෙම පුත්‍රයන් සමග සිටීද එහි සිටින්නහු ප්‍රිය කරවයි.