1744. ඒ පුත්‍රයාගේද ලේලිගේද විලාපය අසා කීර්තිමත් මදුරජහුගේ දූවූ ඵුසති දේවිය කරුණාවෙන් වැළපුණාය.
1745. “මවිසින් විෂ කන ලද්දේ නම් යහපත. මම පර්වතයකින් පනින්නෙම් නම් හොඳය. මම කඹයෙන් එල්ලී මැරෙමි නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
1746. “වෙදගුරුවූ දානපතියෙක්වූ, ඉල්වීමට සුදුසු නොමසුරුවූ උප රජුන් විසින් පුදන ලද්දාවූ කීර්ති හා සම්පත් ඇති නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
1747. “මවුපියන් පොෂ්‍යකරණ කුලදෙටුවන් පුදන නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
1748. “රජුට හිතවත්වූ දෙවියන්ට හිතවත්වූ නෑයන්ට යහළුවන්ට හිතවත්වූ සියලු රටට හිතවත්වූ නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
1749. “නිවරද නැමැත්තා පිටුවහල් කරන්නාවූ ඔබගේ රටවැස්සන් පලාගිය මී වදයක් මෙන්ද බිම වැටුණ අඹ මෙන්ද වේ.
1750. “රජතුමනි දියනැති වේලුණ මඩෙහි පියාපත් නැති හංසයෙකු මෙන්ද, අමෘත්‍යයන් විසින් හැරදමන ලද්දේ තනිවී මැලවෙයි
1751. “මහරජ, ඔබට ඒ කරුණ කියමි. තොපගේ යහපත ඉක්ම නොයේවා. සිවින්ගේ වචනයෙන් නිවැරදි තැනැත්තා පිටුවහල් නොකරව.
1752. “සොඳුර මම සිවීන්ට කොඩියක් වැනිවූ ස්වකීය පුත්‍රයා පිටුවහල් කරන්නේ ප්‍රවෙණි ධර්මයට සැලකීම වූ හික්මවීම කරමි. ඔහු මාගේ ප්‍රාණයටත් වඩා අතිශයින් ප්‍රියය.
1753. “පිපුණ කිණිහිරි මල්ගසක් මෙන් පෙර යමකුගේ කොඩි මුදුන් යන්නහු අනුව යත්ද, හෙතෙම අද තනිව යන්නේය.
1754. “කිණිහිරි මල් ගස් ඇති වනයන් මෙන් පෙර යමෙකුගේ කොඩි මුදුන් යන්නහු අනුව යත්ද, හෙතෙම අද තනිව යන්නේය
1755. “පිපුණු කිණිහිරිමල් රුක් මෙන් පෙර යමෙකුගේ සේනාවෝ යන්නහු අනුව යෙත්ද, හෙතෙම අද තනිව යන්නේය
1756. “යමෙකුගේ සේනාවෝ පිපුණු කිණිහිරි මල් ගස් වනයක් මෙන් යන්නාහු අනුව යෙත්ද, හෙතෙම අද තනිව යන්නේය
1757. “ඉඳිගොව්වන්ගේ පාට ඇති ගන්ධාර රටට අයත් රත් කම්බිලි යන්නහු අනුව යත්ද, හෙතෙම අද තනිව යන්නේය
1758. “යමෙක් පෙර ඇතුපිටින්ද, දෝලා පල්ලැක්කි වලින්ද රථයෙන්ද යයි ද, ඒ වෙස්සන්තර රජතෙම අද කෙසේ පයින් යන්නේද?
1759. “සඳුන් ගානලද අවයව ඇති නැටීම් ගී කීම්වලින් පුබුදුවන රජතෙම රළු අඳුන් දිවිසම් පොරවා පොරොව හා කත්ලීය කරේ තබාගෙන කෙසේ යන්නේද?
1760. “මහ වනයට යන්නහු කසට පෙවූ වස්ත්‍ර හෝ අඳුන් දිවිසම් හෝ කෙසේ ගෙන නොයත්ද, කුමක් හෙයින් වැහැරී නොබඳිත්ද?
1761. “කෙසේද, රජකුලයෙන් පැවිදිවූ ජනයෝ වැහැරී සිවුරු කෙසේ දරත්ද, කුසතණවලින් කළ වැහැරි සිවුරු කෙසේ මද්‍රිදේවිය පොරවත්ද?
1762. “කසීසළුද, ඛොචරටේ හා කොදුම්බර රටේ උපන් වස්ත්‍රද, දරා සිටි මද්‍රිදේවිය කෙසේ වැහැරි සිවුරු දරත්ද?
1763. “සිවිගෙයින්ද, රියෙන්ද, උසුලා හාත්පස ඇවිදි නොකැලැල් ඇඟ ඇති ඕ අද කෙසේ පයින් මාර්ගයට යන්නේද?
1764. “මෘදුවූ අත්ලද, සුවසේ වැඩුණු දෙපාද යමක්හුගේ නොකැලැල් අවයව ඇති බිය සහිතවූ ඕ කෙසේ අද වනයට යත්ද?
1765. “යමක්හුගේ මෘදු පතුල්ද කකුල්ද සුවසේ වැඩුණේද රන්මිරිමැඩි වලින් දුනු පෙලෙන්නාසේ යයිද උතුම් අවයව ඇති තොමෝ අද කෙසේ පයින් මගට බසීද?