[ඉක්බිති ඒ ඵුසතිතොමෝ ඉන් චුතවූවා ක්ෂත්රීය කුලයෙහි උපන්නීය. ජෙතුත්තර නම් නුවර සඤ්ජය සමාගම් වූවාය.
“මාස දහයක් දරා නගර ප්රදක්ෂිණාව කරන්නී වෙළඳ වීථිය මැද ඵුසති තොමෝ මා වැදුවාය.
“මගේ නම, මවු පසට අයත් නොවේ. පිය පසට අයත් නොවේ. වෙළඳ වීථියක උපන්නෙමි. එනිසා වෙස්සන්තර වීය.
“යම් කලෙක මම උත්පත්තියෙන් අට හැවිරිදිවූ ළදරුවෙක් වූයෙම්ද, එකල්හි ප්රාසාදයෙහි හිඳ දන් දෙන්නට සිතුවෙමි.
“ඉදින් යමෙක් මගෙන් ඉල්වන්නේ නම් පපු මස දෙන්නෙමි. ඇස්ද, මස්ද, ලේද, විචාර, ශරීරය පවා දෙන්නෙමි.
“නොසෙල්වෙන, නොපිහිටන ස්වභාවය සිතන්නාට මහමෙර හා වන නමැති මුදුන් මල්කඩ ඇති පෘථිවිය කම්පා විය. ]
1668. “බෙහෙවින් වැඩුණු කිසිලි ලොම් හා නිය ඇති මල බැදුනු දත් ඇති ධූලි තැවරුණ හිස් ඇති බමුණෝ දකුණු අත ඔසවා මගෙන් කුමක් ඉල්වත්ද?
1669. “සිවීන්ගේ රට වර්ධනය කරණ රජතුමනි, වටිනා දෙයක් ඉල්වමු. නගුලිස් වැනි දළ ඉසිළීමට සුදුසු ශ්රේෂ්ඨ ඇතා දෙනු මැනව.”
1670. “බමුණෝ මගෙන් යමක් ඉල්වත්ද? මද බිඳුණු දළ ඇත්තාවූ රාජවාහනවූ ඇත් රජු දෙමි. වෙනස් නොකරමි’
1671. දීමට සිත් ඇති සිවිරට වඩන රජතෙම ඇත් කඳින් බැස බමුණන්ට ඇතු දන් දුන්නේය.
1672. ශ්රේෂ්ඨ ඇතා දුන් කල්හි පොළොව කම්පා විය. එකල්හි එයින් භය ඉපදීම විය. ලොමුදැහැගැන්ම විය.
1673. ශ්රේෂ්ඨ ඇතා දුන් කල්හි එදා නුවර කැළඹුණේය. එදින භය ඉපදීම විය. ලොමු දැහැගැන්ම විය.
1674. සිවිරට වඩන රජු ශ්රේෂ්ඨ ඇතා දුන් කල්හි නුවර අවුල් විය. මහත් ඝොෂාවක්ද විය.
[ශ්රේෂ්ඨ ඇතා දන් දුන් විට පොළොව කම්පා වූයේය. මහත්වූ භයානකවූ ශබ්දයක් එකල්හි ඇතිවිය. මහත් ලොමු දැහැගැනීමක්ද එහි ඇති විය.
ශ්රේෂ්ඨ ඇතා දුන් කල්හි එදා නුවර කැළඹුණේය. ඉක්බිති මහත්වූ, විශාලවූ, භයානකවූ ශබ්දයක් මෙහි පවතී.
සිවිරට වඩන රජු ඇත්රාජයා දුන් කල්හි එයින් මහත්වූ, විශාලවූ, භයානකවූ, ශබ්දයක් මෙහි පවතී.]
1675. ප්රසිද්ධ මනුෂ්යයෝද, රාජ පුත්රයෝද, වෛශ්යයෝද, බ්රාහ්මණයෝද, ඇතුන් නගින්නෝද, රජුගේ ආරක්ෂකයෝද, රියැදුරෝද, පාබලසෙනඟද,
1676. මුළු නියම්ගම් වැස්සෝද, සිවිරට වාසීහුද, රැස්ව ඇතු ගෙනයන ඔවුන් දැක රජුට දැන්වූහ.
1677. “දෙවයන් වහන්ස, නුඹ වහන්සේගේ පුත්රවූ වෙස්සන්තරතෙමේ රට වනසමින් රටවැසියා විසින් පුදන ලද අපේ ශ්රේෂ්ඨ හස්තියා කෙසේ දෙන්නේද?
1678. “නගුලිස් පමණ දළ ඇති ඉසිළීමට සුදුසු සියලු යුදවල ජයබිම දන්නා අපගේ උතුම් සුදු ඇතා කෙසේ දෙන්නේද,
1679. “පඩුවන් පලස් වලින් වසන ලද මද බිදුණු සතුරන් මර්දනය කරණ දළ ඇති, වල් විදුනා සහිත, කෛලාස පර්වතය මෙන් සුදු පැහැති.
1680. “සුදු කුඩය සහිත ඇතිරිලි සහිත, ඇත්වෙදුන් සහිත පිරිවර සහිත රජුන් ගෙනයන අග්ර යානාව වූ ධනය බමුණන්ට දුන්නේය.