6729. ඉක්බිති රාත්‍රිය අවසානයෙහි ඉර පායන කල්හි ශක්‍රතෙමේ උදෑසන බමුණු වේශයකින් ඔවුන්ට පෙනී සිටියේය.
6730. “පින්වත සැප කෙසේද කිමෙක්ද, පින්වත්හට දුකක්නැද්ද, කිමෙක්ද, සිඟීමෙන් ජීවත්වන්නෙහිද? කිමෙක් මුල් ඵල බොහෝ ලැබේද?
6731. “කිමෙක්ද, ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද සර්පයෝද අඩුද? වල්මුවන් ඇති වනයෙහි හිංසාවක් නැත්තේද?”
6732. “බ්‍රාහ්මණය, මට යහපති. බ්‍රාහ්මණය, නැවතද මට දුකක් නැත. නැවතද පිඩු සිඟීමෙන් යැපෙමි. නැවතද මුල් ඵල බොහෝයි.
6733. “නැවත ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද අඩුය. චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි මට හිංසාවක් නැත.
6734. “වනයෙහි සත් මසක් වාසය කරන්නාවූ ශෝකයෙන් ජීවත්වන්නාවූ අපට බෙලි ලීයක් රැගත් අඳුන් දිවිසමක් දරන්නාවූ දෙවියන් විසින් වර්ණනා කළ බමුණෙකු දෙවෙනි වරද දකිමු.
6735. “මහණ බමුණ තොපට යහපත් පැමිණීමක් වේවා. නැවත ඔබට අදූරාගමනය වේවා. පින්වතානෙනි ඇතුළට එන්න. ඔබගේ පාදයන් සෝදාගන්න.
6736. “බ්‍රාහ්මණය උතුම් උතුම්වූ තිඹිරිද, කෝන්ද, මිහිරී කාසුමාරියද, යන කුඩා සුදුසු, හොඳ හොඳ ගෙඩි වර්ග අනුභව කරන්න
6737. “මහාබ්‍රහ්මය, ඉදින් ඔබ කැමැත්තෙහි නම් පර්වත කුහරයෙන් ගෙන ආ සිහිල්වූ මේ පැන් පානය කරණු මැනව”
6738. “නැවත ඔබ කිනම් කරුණක් නිසා කිනම් හේතුවක් උඩ මහවනයට පැමිණියෙහිද, විචාරණ ලද මට එය කියනු මැනව.”
6739. “යම්සේ පිරුණාවූ මහා සමුද්‍රය සියලු කාලයෙහි ක්ෂය නොවේද, එසේ ඔබගෙන් ඉල්වන්නට පැමිණියෙමි. ඉල්වන මට භාර්‍ය්‍යාව දෙව.”
6740. “දෙමි, වෙනස් නොකරමි. බ්‍රාහ්මණය යමක් මගෙන් ඉල්ලන්නෙහිද, ඇති දෙය නොසඟවමි. මාගේ සිත දීමෙහි ඇලෙයි.”
6741. සිවීන්ගේ රට වඩන රජතෙම මද්‍රීදෙවිය අතින් අල්ලා දිය පිරුණු කෙණ්ඩිය ගෙන බමුණාට දන් දුන්නේය.
6742. මද්‍රීදේවිය දෙද්දී පෘථිවිය කම්පාවූයේය. එකල්හි බිහිසුණු බවක්ද විය. එය ලොම් කෙලින් සිටින්නක් ද විය.
6743. මද්‍රිදෙවියගේ මුහුණ (කොපයෙන්) නොහැකුළුණේය. මුහුණ නොමැලවුණේය නොහඬයි. මේ රජතෙම යම් ලාභයක් දනීයයි ඕතොමෝ තුෂ්ණීම්භූතව ඔහුගේ මුහුණ බලාම සිටියාය.
6744. [“ජාලියද කෘෂ්ණජිනා දුවණියද පතීව්‍රතාවූ මද්‍රිදෙවි බුද්ධත්වය පිණිසම දෙන්නේ අනෙකක් නොසිතූවෙමි.
6745. “දරුවන් දෙදෙන මට අප්‍රිය නොවෙති. මද්‍රි දේවියද අප්‍රිය නොවේ. සර්වඥ බව මට ප්‍රියය, එහෙයින් ප්‍රිය වස්තු දුන්නෙමි.”]
6746. “මම යම්බඳුවූ ඔබගේ තරුණ භාර්‍ය්‍යාව වෙම්ද, ඔබ මගේ ස්වාමියාය. යමෙකුට කැමැත්තෙහි නම් ඔහුට මා දෙන්නේය. විකුණන්නේය. මරන්නේය.”