66. සුචින්තිතත්ථෙරාපදානං
“(මම) විශිෂ්ඨ ජන්ම ඇති කේශර සිංහරාජයෙකු වැනි ගිරිදුර්‍ගයන්හි හැසිරෙන නෙසාදයෙක් වීමි. මෘග සමූහයා මරාගෙන කඳු අතරෙහි ජීවත්වෙමි.
“සර්‍වඥවූ, කථාකරන්නවුනට ශ්‍රේෂ්ඨවූ, ඒ අත්‍ථදස්සී භාග්‍යවත් තෙම මා (පවින්) නගාසිටුවනු කැමැත්තේ උතුම් පර්‍වතයට වැඩි සේක.
“පසද මෘගයෙකු මරා අනුභව කිරීමට එළඹියෙමි. එසමයෙහි භාග්‍යවත් තෙම පිඬු සිඟමින් (එතැනට) වැඩි සේක.
“(එහි) උතුම් මස් ගෙන එම ශාස්තෲන් වහන්සේට දුනිමි. මහාවීරවූ බුදුරජාණන් වහන්සේ එකල්හි මාගේ (සිත) නිවමින් අනුමෝදනා කළ සේක.
“මම එම චිත්තප්‍රසාදයෙන් (යුතුව) ගිරිදුර්‍ගයට පිවිසියෙමි. ප්‍රීතිය උපදවා (මම) එහි කළුරිය කෙළෙමි.
“මෙම මස් දන කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් (ප්‍රාර්ත්‍ථනාවන්) කරණකොට ගෙනද එක් දහස් පන්සියවන කපෙහි දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.
“අවෂෙශ කල්පයන්හිද මා විසින් කුසල් රැස් කරණ ලදී. මම මාගේ දානයෙන්ද, බුදු ගුණ සිහි කිරීමෙන්ද,
“අටතිස්වන කපෙහි දීඝායු නම් වූ රජවරු අටදෙනෙක් වූහ. මින් කල්ප සදහසකින් පෙර වරුණ නම්න් දෙව් රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුචින්තිතත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
67. වත්ථදායකත්ථෙරාපදානං
“(මම) පක්‍ෂි යෝනියෙහි උපන්නේ ගුරුළනට අධිපතිවූ ගුරුළු රජෙක් වීමි. එකල්හි බැහැරකළ කෙළෙස් රජස් ඇති ගන්‍ධමාදන පර්‍වතයට වඩින්නාවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
“(දැක) ගුරුළු වෙස් හැර මානවක වෙසක් දැරීමි. තාදී ගුණ ඇති, විපදෝත්තමවූ බුදුරජාණන් වහන්සේට මා විසින් එක් වස්ත්‍රයක් දෙන ලදී.
“ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජ තෙම ඒ වස්ත්‍රය පිළිගෙන අහසෙහි සිටියේ මෙම ගාථාවන් දෙසූ සේක.
“මේ වස්ත්‍ර දානය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙනද ගුරුළු බව අත්හැර දෙව්ලොව සිත් අලවා වාසය කරන්නේය.
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙම වස්ත්‍ර දානයට පසසා, උතුරු දිගට මුහුණලා වැඩි සේක.
“භවයෙහි උපදින කල්හි මට වස්ත්‍ර සම්පත් (ඇති) වේ. අහසෙහි වියනක් ඇති වේ. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
“සතිස්වන කපෙහි මනුෂ්‍යාධිපතිවූ, මහත් බල ඇති, “අරුණක” නම් ඇති සක්විති රජවරුන් සත් දෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වත්‍ථදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වත්ථදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
68. අම්බදායකත්ථෙරාපදානං
“(හිමවත්) පර්‍වතාන්තරයෙහි වැඩහුන් අනෝමදස්සි බුදුරජතෙම අප්‍රමාණවූ (සත්ත්‍ව) ලෝකයෙහි උපධි විරහිත කොට මෛත්‍රීය පැතිරවූ සේක.
“එකල්හි මම එම උතුම් හිමවත් පව්වෙහි වඳුරෙක් වීමි. අලාමකවූ, අපමණ ගුණ ඇති (උන්වහන්සේ) දැක (ඒ) බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි.
“එකල්හි හිමවතට නුදුරු තන්හි පලගත් ආම්‍ර ඵලයෝ (අඹ) වුහ. ඉන් අඹ ගෙඩියක් මී වදයක් සහිතව ගෙන බුදුරජාණන් වහන්සේට දුනිමි.
“අනොමදස්සී බුදුරජාණන් වහන්සේ මට ඒ (මේ අදහස) ප්‍රකාශ කළ සේක. (කෙබඳු අදහසක්ද යත්?) “මේ මීවද දානයෙන්ද, අඹ දානයෙන්ද, යන දෙකින්
“(මේ තෙම) සත් පණස් කපක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය. සෙසු කල්පයන්හි (දිව්‍ය-මනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍ර වශයෙන් සැරිසරන්නේය.
“පිරිසිදු නුවණින් පව්කම් ගෙවා දුගතියකට නොගොස් කෙළෙස් දවන්නේය” (කියායි).
“මහර්ෂීන් වහන්සේ විසින් මම උත්තමවූ දමනයෙන් (රහත් බැවින්) දමනය කරණ ලදුයේ වෙමි. ජය පරාජය දෙක හැර නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.