7. සකවිත්තනියවග්ගො
61. සකචින්තනියත්ථෙරාපදානං
ඎෂීන් විසින් සෙව්නා ලද, අල්ප ශබ්ද ඇති, කැළඹිළි රහිත වනයක් දැක, දෙව් මිනිසුන්ගේ පූජාවන් පිළිගන්නාවූ (බුදුරජාණන් වහන්සේ සිහි කළෙමි).
බුදුරජාණන් වහන්සේ උදෙසා වැලි (වලින්) සෑයක් කොට, නොයෙක් මල් විසිරවීමි. නිර්මිත බුදුරජුන් ඉදිරියෙහි මෙන් මම (එම සෑයට) වැන්දෙමි.
“(එම පිණින්) සිය කටයුතුවල යෙදුන මම සත් රුවණින් යුත් රටෙහි අධිපති රජ වීමි. ස්ථූප පූජාවෙහි මේ විපාකයයි.
“මින් එකානූවන කපෙහි (සෑයට) යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ස්තූප පූජාවෙහි මේ විපාකයයි.
“මම අසූවන කපෙහි සත් රුවණින් යුත් සිව් මහ දිවයින්හි අධිපතිවූ, අනන්ත යස නම් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකචින්තනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සකවිත්තනියත්ථෙරස්ස අපදානං පඨමං.
62. අවොපුප්ඵියත්ථෙරාපදානං.
“(සිඛී බුදුරජ තෙම) විහාරයෙන් නික්ම සක්මනෙහි සිට චතුස්සත්ය ප්රකාශ කරන්නේ, අමෘත පදය (නිර්වාණ ධර්මය) දේශනා කරයි.
“තාදී ගුණ ඇති බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ හඬ අසා නොයෙක් මල් ගෙනවුත් අහසෙහි විසිරවීමි.
“විපදොත්තමයන් වහන්ස, ලෝක ජ්යෙෂ්ඨයන් වහන්ස, නර ශ්රේෂ්ඨයන් වහන්ස, එම කර්මය හේතුකොට ගෙන, ජය පරාජය දෙක හැර, නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
“මින් එක් තිස්වන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුකොට ගෙන) දුගතියක් නොදනිමි. මල් පූජාවේ මේ විපාකයයි.
“මින් විසිවන කපෙහි සත් රුවණින් යුත්, මහත් බල ඇති, සුමේධ නම් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවොපුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අවොපුප්ඵියත්ථෙරස්ස අපදානං දුතියං.
63. පච්චාගමනියත්ථෙරාපදානං
“මම එකල්හි සුගන්ධ නදී තීරයෙහි පිරිසිදු සෙවෙල් අනුභව කරන්නාවූ, පාපයන් (කිරීමෙහි) සංසුන්වූ, සක්වා ලිහිණියෙක් වීමි.
“(එකල්හි) කෙළෙස් මල නැත්තාවූ, අහස් මගෙහි ගමන් කරන්නාවූ, බුදුරජුන් දිටිමි. (දැක) හොටින් සල්මලක් ගෙනවුත් (එම) විපස්සි බුදුරජාණන් වහන්සේට පිදීමි.
“යමෙකුගේ ශ්රද්ධා තොමෝ තථාගතයන් වහන්සේ විෂයෙහි නිශ්චලව පිහිටියාද, එම චිත්ත ප්රාසාදය හේතුකොටගෙන හෙතෙම දුගතියකට නොයෙයි. (විපස්සී බුදුරජ තෙම වදාළ සේක)
“ඒකාන්තයෙන් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ මනා පැමිණීමක් විය. (සක්වා) ලිහිණියෙකුවූ මා විසින් මනා (කුශල) බීජයක් රෝපණය කරන ලදී.
“මින් එක් අනූවන කපෙහි යම් මලක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
“සතළොස්වන කපෙහි සුවාරුස්සන නම් මේ එකී නම් ඇති මහා බලවත්වූ සක්විති රජවරු අට දෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චාගමනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පච්චාගමනියත්ථෙරස්ස අපදානං තතියං.