67. වත්ථදායකත්ථෙරාපදානං
“(මම) පක්‍ෂි යෝනියෙහි උපන්නේ ගුරුළනට අධිපතිවූ ගුරුළු රජෙක් වීමි. එකල්හි බැහැරකළ කෙළෙස් රජස් ඇති ගන්‍ධමාදන පර්‍වතයට වඩින්නාවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
“(දැක) ගුරුළු වෙස් හැර මානවක වෙසක් දැරීමි. තාදී ගුණ ඇති, විපදෝත්තමවූ බුදුරජාණන් වහන්සේට මා විසින් එක් වස්ත්‍රයක් දෙන ලදී.
“ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජ තෙම ඒ වස්ත්‍රය පිළිගෙන අහසෙහි සිටියේ මෙම ගාථාවන් දෙසූ සේක.
“මේ වස්ත්‍ර දානය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙනද ගුරුළු බව අත්හැර දෙව්ලොව සිත් අලවා වාසය කරන්නේය.
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙම වස්ත්‍ර දානයට පසසා, උතුරු දිගට මුහුණලා වැඩි සේක.
“භවයෙහි උපදින කල්හි මට වස්ත්‍ර සම්පත් (ඇති) වේ. අහසෙහි වියනක් ඇති වේ. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
“සතිස්වන කපෙහි මනුෂ්‍යාධිපතිවූ, මහත් බල ඇති, “අරුණක” නම් ඇති සක්විති රජවරුන් සත් දෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වත්‍ථදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වත්ථදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
68. අම්බදායකත්ථෙරාපදානං
“(හිමවත්) පර්‍වතාන්තරයෙහි වැඩහුන් අනෝමදස්සි බුදුරජතෙම අප්‍රමාණවූ (සත්ත්‍ව) ලෝකයෙහි උපධි විරහිත කොට මෛත්‍රීය පැතිරවූ සේක.
“එකල්හි මම එම උතුම් හිමවත් පව්වෙහි වඳුරෙක් වීමි. අලාමකවූ, අපමණ ගුණ ඇති (උන්වහන්සේ) දැක (ඒ) බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි.
“එකල්හි හිමවතට නුදුරු තන්හි පලගත් ආම්‍ර ඵලයෝ (අඹ) වුහ. ඉන් අඹ ගෙඩියක් මී වදයක් සහිතව ගෙන බුදුරජාණන් වහන්සේට දුනිමි.
“අනොමදස්සී බුදුරජාණන් වහන්සේ මට ඒ (මේ අදහස) ප්‍රකාශ කළ සේක. (කෙබඳු අදහසක්ද යත්?) “මේ මීවද දානයෙන්ද, අඹ දානයෙන්ද, යන දෙකින්
“(මේ තෙම) සත් පණස් කපක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය. සෙසු කල්පයන්හි (දිව්‍ය-මනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍ර වශයෙන් සැරිසරන්නේය.
“පිරිසිදු නුවණින් පව්කම් ගෙවා දුගතියකට නොගොස් කෙළෙස් දවන්නේය” (කියායි).
“මහර්ෂීන් වහන්සේ විසින් මම උත්තමවූ දමනයෙන් (රහත් බැවින්) දමනය කරණ ලදුයේ වෙමි. ජය පරාජය දෙක හැර නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
“සත් දහස් සත්සිය වන කපෙහි මහත් බල ඇති අම්බට්ඨ නම් වූ ඒ තුදුස් සක්විති රජවරු වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අම්බදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
69. සුමනත්ථෙරාපදානං
“මම එකල්හි නම්න් සුමණ නම් මල්කරුවෙක් වීමි. (ඒ මම) කෙළෙස් රජස් රහිත, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ “සිඛී” නම් බුදුරජාණන් වහන්සේ දුටිමි.
“දෝතින් උතුම් සමන් මල් (මිටක්) ගෙන සිඛී බුදුරජාණන් වහන්සේට පිදීමි.
“මෙම මල් පූජාව කරණකොට ගෙනද, චිත්තප්‍රණිධීන් (ප්‍රාර්ත්‍ථනාවන්) කරණකොට ගෙනද දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
“මින් තිස් එක්වන කපෙහි යම් මලක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
“විස්වන කපෙහි මහත් යසස් ඇති, සත් රුවණින් යුත් සක්විති රජවරු සිව් දෙනෙක් වුහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුමනත්ථෙරස්ස අපදානං නවමං.
70. පුප්ඵචඞ්ගොටියත්ථෙරාපදානං
“උත්තම ජන්මවත් අභීත ස්වභාවය ඇති කේශර සිංහ රාජයෙකු මෙන්ද, පක්‍ෂීන් අතුරෙහි ශ්‍රේෂ්ඨවූ ගුරුළෙකු මෙන්ද, උතුම් ව්‍යාඝ්‍රයෙකු මෙන්ද,
“කෙළෙස් රහිතවූ, පසු මරුන් දිනුවාවූ, ශ්‍රමණයනට අග්‍රවූ, භික්‍ෂු සංඝයා පරිවරා හුන් තිලොවට පිළිසරණවූ සිඛී බුදුරජාණන් වහන්සේ (දිටිමි).
“උතුම් කටුකරඬු මල් ගොටුවක තබා, ගොටුවද සමග (එම මල් බුදුරජුන් හට) පිදීමි.
“විපදෝත්තමවූ, නරශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කෙරෙහි එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන ජය-පරාජය දෙකම හැර නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
“මින් තිස්වන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයයි.
“තිස් කපක් සම්පූර්‍ණවූ කල්හි සත්රුවණින් යුත් දේවභූති නම් සක්විති රජවරු පස් දෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵචඞ්ගොටිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුප්ඵචඞ්ගොටියත්ථෙරස්ස අපදානං දසමං.