ථේරාපදානය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
1. බුද්ධ වග්ගය
1.
1. බුද්ධාපදානය
1. වේදේහි පුත්‍ර ආනන්‍ද ස්ථවිර තෙම දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, කිනම් හේතුවකින් සර්‍වඥ බුදුවරයෝ වෙත්දැයි” නමස්කාර පෙරටුව විචාළ සේක.
2. එකල්හි මහාර්ෂිවූ සර්‍වඥ බුදුරජාණන් වහන්සේ, සුන්දරවූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට, මධුර ස්වරයෙන් මෙසේ වදාළ සේක: “පෙර බුදුවරයන් විෂයෙහි කරණ ලද පුණ්‍ය සම්භාර ඇති, සර්‍වඥ ශාසන විෂයෙහි නොලබන ලද මොක්‍ෂය ඇති,
3. “අති සියුම් නුවණින් යුත්, එම ප්‍රාඥයෝ එකී සම්‍යක් සම්බෝධියම අරමුණුකොට මහත්වූ ධෛර්‍ය්‍යයෙන් කළ පැතුමින්ද, වඩන ලද ප්‍රඥාවෙහි බලයෙන්ද, සර්‍වඥභාවයට පැමිණෙත්යයි.”
4. “අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති. මමද එකී පෙර බුදුවරයන් ඉදිරියෙහි සිතින්ම (එම උතුමන්) මෙන් වී බුදුබව පැතීමි.
5. “තවද, බුද්ධාපදානයන් පිරිසිදු සිතින් යුතුව අසව්. සමතිස් පෙරුම් පිරූ අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති.
6. “ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලාගේ සර්‍වඥතාඥානයටද, ශ්‍රාවක සඞ්ඝයා සහිත බුදුවරයන් වහන්සේලාටද, දොහොත් එක්කොට නැවතත් හිස නමා වැඳීම කෙළෙමි.
7. “ඇතිතාක් බුද්ධ ක්‍ෂෙත්‍රයන්හි අහසෙහිවූද, පොළොවෙහිවූද, අනන්තවූ රත්නයන් සිතින් (ඉටා) (මාගේ ප්‍රාසාදය හාත්පස) රැස් කෙළෙමි.
8. “එහි රිදියෙන් කරණ ලද්දාවූද, සත් රුවනින් කරණ ලද්දාවූද, නොයෙක් මහල් (තට්ටු) ඇති අහසට උසද්ව නැගී බබලන ප්‍රාසාදයක් මැවීමි.
9. “එම ප්‍රාසාදය දිගුපුළුලට සරිලන සේ මැනවින් කළ බෙදුම් ඇති, වටිනා තොරණවලින් හා (සුදු) කුඩවලින් බබළන රුවනින් මුවා දැව වළලු ඇති විසිතුරු කණුවලින් යුක්තවිය.
10. “එහි පළමුවෙනි මාලය (තට්ටුව) පිරිසිදු වළාකුලක් සේ මනොඥ වෙරළු මිණියෙන් කරණ ලද පොළොව ඇත්තේ විය. ජලයෙහි හටගන්නා පියුම්වලින් ගැවසීගත් උතුම් ස්වර්‍ණමය භූමීන්ගෙන්ද යුක්ත විය.
11. “ඇතැම් භූමීහු මනහර ලෙස පබළුයෙන් කළ පැති ඇති පබළුවන් වූවාහුද, අනිකක් රත් පැහැ ඇත්තාහුද, තවකෙක් රතිදු ගොව්වන්ගේ පැහැයට බඳු පැහැයෙන් යුක්ත වූවාහුද, දසදිගුන් බබුළුවති.
12. “මැනවින් ගෘහද්වාරද, පිටතට නෙරාගිය ප්‍රමුඛ ශාලාවන් (ගෙවල් ඉදිරියේ බැඳි ශාලා) ද සීමැදුරුද, මනහර මුතුලැල්වලින් හා සුවඳදමින් ගැවසීගත් වේදිකා සතරක්ද (එහි) විය.
13. “(එම ප්‍රාසාදය) සත් රුවනින් ශෝභාවත් කළ නිල්, කහ, රතු, සුදු හා අමිශ්‍ර කාල වර්‍ණයද ඇති උතුම් කුළු ගෙවලින්ද සමන්විත විය.
14. “උඩුකුරුව පිපුණු (අයුරින් කළ) පියුමින්ද, විශාල මෘගයන්ගේ හා පක්‍ෂීන්ගේ රූ සටහන්වලින්ද බබළන (ඉතා උස් බැවින් පිළිබිඹුවූ) නැකැත් තරුවලින් ගවසීගත් චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ගෙන්ද අලංකාර විය.
15. “රන් කිකිණියෙන් යුත්, රුවන් දැලින් ගැවසුනු මනහර රන් මල් දම්හු වායු වේගයෙන් ශබ්ද පවත්වති.
16. “මදටිය රතු, කහ, දඹරන් යන නන් වැදෑරුම් සායමින් පොවන ලද ඔසවන ලද්දාවූ ධජ මාලාවෝ වෙති.
17. “එහි රිදියෙන් කළ පුවරුද, (නිල්) මිණියෙන්, දෑරඟ මිණියෙන් හා කබරවන් මිණි ආදියෙන් කළ පුවරු ඇති, සියුම් කසී සළු අතුල, නා නා සයනයන්ගෙන් විසිතුරු විය.
18. “කම්බිලිද, දුහුල් පටද, චීන පටද, පත්තුණ්ණ දේශයෙහි කළ පටද, පඬුවන් පටද යන මෙයින් කළ ප්‍රාවරණයන්ගෙන් විවිධ ඇතිරි ඇති සියලු (අසුන්) මම සිතින් (ඉටා) පැනවීමි.
19. “ඒ ඒ භූමීන්හි රත්නමය කර්ණිකාවන්ගෙන් ශෝභාවත් රන්මිණියෙන් කළ දඬුවැට පහන් දරණ (නොයෙක්) සිය ගණන් ජනයෝ සිටිති.
20. “(එහි) නුවර දොර හොබවනු වස් සිටවූ යකඩ කණුද, ස්වර්‍ණමයවූ ජාම්බෝජනද, ස්වර්‍ණමයවූ (කිහිරි) ඛදිරදාරුමවූ (රිදී) රජතමයවූ තොරන්හුද බබළති.
21. “(එම) පහය මැනවින් බෙදූ බොහෝ ජනෙල් හා අගුළුවලින් විසිතුරු විය. නොයෙක් පියුම් උපුල්වලින් යුත් පෙදෙස තැබූ පූර්‍ණ ඝටයෝද එහි වෙති.
22. “අතීතයෙහිවූ ශ්‍රාවක සංඝයා සහිත ලෝකනායක සම්‍යක් සම්බුදුවරයන්ද, එසේම ශ්‍රාවක සමූහය සහිත පසේ බුදුවරයන්ද පියවි සටහනින් මවා,