529. ආමණ්ඩඵලදායක ථේරාපදානය
සියළු දහම්හි තෙරපත්, පස්මරුන් දිනූ, ලෝකාග්‍රවූ පදුමුත්තර බුදුරජතෙමේ සමාධියෙන් නැගිට සක්මන් කළ සේක.
එකල්හි (මම) කත් බර ගෙන, ඵල (නෙලා) ගෙන එන්නේ, කෙලෙස් රජස් විරහිතවූ, සක්මන් කරන්නාවූ බුදුරජුන් දුටිමි.
(මම) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, හිසෙහි ඇඳිලි බැඳ, සම්බුදුරජුන් වැඳ, එරඬු ගෙඩියක් දුනිමි.
මින් සියක් දහස්වන කපෙහි වු එකල්හි යම් එරඬු ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. එරඬු ගෙඩි පිදීමෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආමණ්ඩඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආමණ්ඩඵලදායකත්ථෙරස්සාපදානං නවමං.
530. සුගන්‍ධ ථේරාපදානය
මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන්හට උතුම්වූ, කාශ්‍යප නම් බුදුරජතෙම ලොව පහළවූහ.
(උන්වහන්සේ) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, දෙතිස් මහපුරිස් ලකුණු ඇති, ව්‍යාම ප්‍රභා (බඹයක් පමණ ඈතට රශ්මි)යෙන් යුත්, රැස් සමූහයෙන් ගැවසීගත් (සේක).
(මෙම බුදුරජතෙම) සඳු මෙන් අස්වැසිලි කරන්නෙක. හිරු මෙන් පැහැ ඇතිකරන්නෙක. වැහි වලාවක් මෙන් (කෙළෙස්) ගිම් නිවන්නෙක. සයුර මෙන් ගුණ (මැණික්)වලට ආකරයෙක.
සීලයෙන් මහපොළොව මෙනි. සමාධියෙන් හිමවත් පව්ව මෙනි. ප්‍රඥාවෙන් අහස මෙනි. සුළඟ මෙන් නොඇලෙන්නේද වේ.
පිරිස් හමුවෙහි විශාරදවූ ඒ මහාවීරවූ (බුදුරජතෙමේ) කිමියම් දිනෙක මහාජනයා (සසර සයුරින්) ගොඩලමින් සිව්සස් දෙසූ සේක.
එකල්හි මම බරණැස් නුවර සමෘද්‍ධවූ ධන ධාන්‍යයට හිමිකරුවෙකුවූ, මහත් යසස් ඇති සිටුපුතෙක් වීමි.
මම ජඞ්ඝාවිහාරයෙහි හැසිරෙමින්, මිගදාය නම්වූ මුවන් වසන වනයට එළඹ, අමෘතපදය (නිර්‍වාණ ධර්‍මය) දෙසන්නාවූ, කෙළෙස් රජස් විරහිතවූ බුදුරජුන් දුටිමි.
(උන්වහන්සේ) විසිරීයන මනොඥ වචන ඇති, කුරවි කෙවිල් හඬට බඳු හඬ ඇති, හංසධ්වනියට බඳු ශබ්ද ඇති, මහාජනයාට දහම් අවබෝධ කරවන්නාවූ (සේක).
දේවාතිදේවවූ ඒ බුදුරජුන් දැක මිහිරි වචනද අසා අපමණවූ භෝග සම්පත් අතහැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
මෙසේ පැවිදිවූ මම නොබෝ කලකින්ම බහුශ්‍රුතවූ, ධර්‍මකථිකවූ, විසිතුරු වැටහීම් ඇති කෙනෙක් වීමි.
මම මහපිරිස් මැදෙහි සතුටු සිතින් යුතුව ගුණ මැනීමෙහි විශාරද වූයේ, නැවත නැවත ස්වර්ණවර්ණවූ බුදුරජුන්ගේ ගුණ වර්ණනය කෙළෙමි. (කෙසේද යත්?)
මෙම බුදුරජතෙම ක්‍ෂයකළ ආශ්‍රවයන් ඇත්තෙක. උවදුරු රහිතයෙක. දුරු කළ සැක ඇතියෙක. සියළු කර්‍මයන්ගේ ක්‍ෂයට පත්වූවෙක. උපධි නම්වූ පඤ්චස්කණධයෙහිවූ (දුකින්) මිදුනෙක.
මේ ඒ භාග්‍යවත්වූ බුදුරජතෙමේය. මේ අනුත්තරවූ පුරුෂසිංහ තෙමේය. (මෙතෙම) දෙවියන් සහිත ලෝකයෙහි බ්‍රහ්මචක්‍රය පවත්වන්නේද (වෙයි.)