53. තිණදායක වග්ග
521. තිණමුට්ඨි දායක ථේරාපදානය
1. “හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයක් විය. එහි එලිමහන්හි උපතිස්ස නම් සම්බුදුරජතෙම සක්මන් කළහ.
2. “මම පෙර මහ වෙනෙහි මුව වැද්දෙක් වීමි. මම ඒ දේවාති දේවවූ (බුදුරජුන්) දැක තණ මිටක් දුනිමි.
3. “(එය) බුදුරජුන්හට වැඩහිඳීම සඳහා දී සිත පැහැදවීමි. සම්බුදුරජුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
4. “ගිය නොබෝ වේලාවකින්ම සිංහයෙක් තෙම මා පෙළීය. මම (එම) සිංහයා විසින් හෙළන ලදුයේ එහි කළුරිය කළේ වෙමි.
5. “මරණාසන්න කල්හි මා විසින් ආශ්‍රව රහිතවූ බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විෂයයෙහි (එම) කර්‍මය කරන ලදී. මම (දුන්නේ මිදුනු) හී වේගයක් මෙන් දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
6. “පුණ්‍යකර්‍මය කරණකොටගෙන (එහි) නිර්මිතවූ විමානය ශුභ එකක් විය. දහසක් බෙදුම් (කොටස්) ඇත්තේය. සියයක් ගෝලාකාර බෙදුම් ඇත්තේය. ධජයන්ගෙන් යුක්තය. කොළවන්ය.
7. “උදාවූ හිරු මෙන් එම ප්‍රාසාදයාගේ පැහැය පැතිරේ. මම (එහි) දිව්‍ය කන්‍යාවන් විසින් ගැවසී ගත්තේ කැමති කැමති පරිදි සතුටුවීමි.
8. “කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, දෙව්ලොවින් චුතව මිනිසත් බවට පැමිණ ආශ්‍රවක්‍ෂයට පැමිණියේ වෙමි.
9. “මින් සිව් අනූවන කපෙහි මම නිසීදනයක් (අතුරා හිඳුමට තණ මිටක්) දුනිමි. (ඒ හේතුවෙන්) මම දුගතියක් නොදනිමි. තණ මිටක් දීමෙහි මේ විපාකයයි.
10. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
11. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණමුට්ඨිදායකත්ථෙරස්සාපදානං පඨමං.
522. මඤ්චදායක ථේරාපදානය
13. “ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් පහන් සිතින් යුතුව සියතින්ම එක ඇඳක් දෙන ලදී.
14. “එම මඤ්චක දානය කරණකොටගෙන හස්ති යානද, අශ්ව යානද යන දිව්‍යමය යානයන් ලබමි. ආශ්‍රවක්‍ෂයටද පැමිණියේ වෙමි.
15. “මින් එක් අනුවන කපෙහි මම යම් මඤ්චක දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මඤ්චක දානයාගේ මේ විපාකයයි.
16. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
17. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මඤ්චදායකත්ථෙරස්සාපදානං දුතියං.
523. සරණ ගමනීය ථේරාපදානය
19. “එකල්හි ආජීවකයෙක් වූ මමද, භික්‍ෂුවක්ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුව මට සරණ දුන්නේය.
20. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි ඒ භික්‍ෂු තෙම මට යම් සරණයක් දුන්නේද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මෙය සරණාගමණයෙහි විපාකයයි.
21. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
22. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණ ගමනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සරණගමනියත්ථෙරස්සාපදානං තතියං.