530. සුගන්‍ධ ථේරාපදානය
මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන්හට උතුම්වූ, කාශ්‍යප නම් බුදුරජතෙම ලොව පහළවූහ.
(උන්වහන්සේ) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, දෙතිස් මහපුරිස් ලකුණු ඇති, ව්‍යාම ප්‍රභා (බඹයක් පමණ ඈතට රශ්මි)යෙන් යුත්, රැස් සමූහයෙන් ගැවසීගත් (සේක).
(මෙම බුදුරජතෙම) සඳු මෙන් අස්වැසිලි කරන්නෙක. හිරු මෙන් පැහැ ඇතිකරන්නෙක. වැහි වලාවක් මෙන් (කෙළෙස්) ගිම් නිවන්නෙක. සයුර මෙන් ගුණ (මැණික්)වලට ආකරයෙක.
සීලයෙන් මහපොළොව මෙනි. සමාධියෙන් හිමවත් පව්ව මෙනි. ප්‍රඥාවෙන් අහස මෙනි. සුළඟ මෙන් නොඇලෙන්නේද වේ.
පිරිස් හමුවෙහි විශාරදවූ ඒ මහාවීරවූ (බුදුරජතෙමේ) කිමියම් දිනෙක මහාජනයා (සසර සයුරින්) ගොඩලමින් සිව්සස් දෙසූ සේක.
එකල්හි මම බරණැස් නුවර සමෘද්‍ධවූ ධන ධාන්‍යයට හිමිකරුවෙකුවූ, මහත් යසස් ඇති සිටුපුතෙක් වීමි.
මම ජඞ්ඝාවිහාරයෙහි හැසිරෙමින්, මිගදාය නම්වූ මුවන් වසන වනයට එළඹ, අමෘතපදය (නිර්‍වාණ ධර්‍මය) දෙසන්නාවූ, කෙළෙස් රජස් විරහිතවූ බුදුරජුන් දුටිමි.
(උන්වහන්සේ) විසිරීයන මනොඥ වචන ඇති, කුරවි කෙවිල් හඬට බඳු හඬ ඇති, හංසධ්වනියට බඳු ශබ්ද ඇති, මහාජනයාට දහම් අවබෝධ කරවන්නාවූ (සේක).
දේවාතිදේවවූ ඒ බුදුරජුන් දැක මිහිරි වචනද අසා අපමණවූ භෝග සම්පත් අතහැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
මෙසේ පැවිදිවූ මම නොබෝ කලකින්ම බහුශ්‍රුතවූ, ධර්‍මකථිකවූ, විසිතුරු වැටහීම් ඇති කෙනෙක් වීමි.
මම මහපිරිස් මැදෙහි සතුටු සිතින් යුතුව ගුණ මැනීමෙහි විශාරද වූයේ, නැවත නැවත ස්වර්ණවර්ණවූ බුදුරජුන්ගේ ගුණ වර්ණනය කෙළෙමි. (කෙසේද යත්?)
මෙම බුදුරජතෙම ක්‍ෂයකළ ආශ්‍රවයන් ඇත්තෙක. උවදුරු රහිතයෙක. දුරු කළ සැක ඇතියෙක. සියළු කර්‍මයන්ගේ ක්‍ෂයට පත්වූවෙක. උපධි නම්වූ පඤ්චස්කණධයෙහිවූ (දුකින්) මිදුනෙක.
මේ ඒ භාග්‍යවත්වූ බුදුරජතෙමේය. මේ අනුත්තරවූ පුරුෂසිංහ තෙමේය. (මෙතෙම) දෙවියන් සහිත ලෝකයෙහි බ්‍රහ්මචක්‍රය පවත්වන්නේද (වෙයි.)
මහර්ෂීවූ බුදුරජ(තෙමේ) දමනයවූයේ, මහජනයාද දමනය කරන්නෙක. (තෙමේ ශාන්තවූයේ) මහාජනයාද ශාන්ත කරන්නෙක. (තෙමේ කෙළස් ගින්නෙන්) නිවුනේද, මහාජනයාද නිවන්නෙක. (තෙමේ) අස්වැසිල්ලට පැමිණියේ, මහාජනයාද අස්වසන්නෙක.
ඒ බුදුරජතෙම වීරයෙක. ශූරයෙක. නැණවතෙක. පැණවතෙක. කාරුණීකයෙක. (පඤ්ච වශීකාවෙන්) වසඟවූවෙක. දිනනසුළු කෙනෙක. කලබල නොමැතියෙක. නිරාලය (ආශාව නැති) කෙනෙක.
ගුරුන් අතුරෙහිදු (මේ) සර්‍වඥතෙමේ තෘෂ්ණාව නැති කෙනෙක. නිශ්චල කෙනෙක. නුවණැති කෙනෙක. මෝහය නැති කෙනෙක. (සමකොට කීමට අනිකෙකු නොමැති බැවින්) අසමයෙක. ධුර උසුලන්නෙක. වෘෂභයෙක. නාගයෙක. සිංහයෙක. කටයුතු කිරීමෙහි හැකි කෙනෙක.
රාගය නැත්තෙක. පව් දුරු කළ කෙනෙක. (සිත්හි රාගාදී කිලුටු නැති බැවින්) අචලවූ කෙනෙක. (පහවූ රාගාදී හුල් ඇති බාවින්) විසල්ලවූ කෙනෙක. (ලෙව්හි සමාන කිරීමට අනිකෙකු නොමැති බැවින්) අසම කෙනෙක. චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන් (සංවෘත බැවින්) සන්හුන් කෙනෙක. පිරිසිදු කෙනෙක.
(බැහැර කරන ලද පවු ඇති බැවින්) බ්‍රාහ්මණයෙත. (ශමනය කරන ලද පව් ඇති බැවින්) ශ්‍රමණයෙක. අනාථයනට පිහිටවන බැවින්) නාථයෙක. (කෙළෙස්) ලොවට වෛද්‍යයෙක. රාගාදී හුල් උදුරන) ශල්‍ය වෛද්‍යයෙක. (කෙළෙස් සතුරන් ජයගන්නා) යෝධයෙක. (සිව්සස් දත් බැවින්) බුදුවරයෙක. ප්‍රකට කෙනෙක. (දමනය කළ යුතු අය දමනය කරණ බැවින්) සාරථියෙක. නිශ්චල කෙනෙක. මුදිතාවෙන් යුතු කෙනෙක. උසස්ව නැගී ගිය කෙනෙක.
තෘප්තියට පත් කෙනෙක. (මහා කරුණා ආදී ගුණ) දරන්නෙක. (කෙළෙස් සතුරන්) නසන්නෙක. (ශාන්තිය) කරන්නෙක. (නිවණට මගට) පව්ණුවන්නෙක. (අමාදහම්) දෙසන්නෙක. (සව්වන්) සතුටු කරන්නෙක. (සසර සක දැවි) බිඳින්නෙක. (සංසාර වෘක්‍ෂය) බිඳින්නෙක. (විනෙය්‍ය ජනයන්ගේ කථාවකට භවාග්‍රයෙහි සිටි නමුදු) ඇහුම්කන් දෙන්නෙක. (මනා ප්‍රතිපත්ති ඇතියනට) පසසන්නෙක.
රාගාදී කිලිටි නැති බැවින්) අඛිලවූ කෙනෙක. (පහවූ රාගාදී හුල් ඇති බැවින්) විසල්ලවූ කෙනෙක. උවදුරු රහිත කෙනෙක. සැක දුරු කළ කෙනෙක. තෘෂ්ණා විරහිත කෙනෙක. කෙළෙස් රජස් විරහිත කෙනෙක. ඉවසන කෙනෙක. නිවන් මග යන්නෙක. (මග නොමග මේ යයි) කියන්නෙක. (හිතාහිත මේ යයි) පවසන්නෙක.
(සත්ත්‍වයන් සසරින්) එතෙර කරන්නෙක. අභිවෘද්‍ධිකාරයෙක. නිවන් (සිදු) කරන්නෙක. (කෙළෙස් ගල්කුළු) පැලුවෙක. (සත්ත්‍වයන් නිවනට) පමුණුවන්නෙක. (ලෝකෝත්තර ගුණ) සහිතවූවෙක. දුටුවන් සිත් ඇදගන්නා කෙනෙක. (කෙළෙස් සතුරන්) නසන්නෙක. (කෙළෙස් තවන) වීර්‍ය්‍ය ඇත්තෙක. තපෝගුණ යුත් කෙනෙකි.