516. අජ්ජුන පුප්ඵිය ථේරාපදානය
“එකල්හි (මම) චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) කෙළෙස් රජස් විරහිත, සියල්ල තෙමේම දත්, පස්මරුන් දිනූ බුදුරජුන් දුටිමි.
“පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, හටගත් ප්‍රීති ඇත්තේ, කුඹුක් මලක් ගෙන බුදුරජුන් පිදීමි.
“මැනවින් කරන ලද කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මම කිඳුරු සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
“සතිස් වරක් දෙවෙන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි. දස වරක් චක්‍රවර්ති මහා රාජ්‍යය කරවීමි.
“(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. සර්‍වඥවූ මහා පින්කෙතෙහි මා විසින් වපුල බිජුවට ආශ්චර්‍ය්‍යයකි.
“මාගේ කුශලය (තවත්) විද්‍යමානවේ. අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි. මම අද ශාක්‍යපුත්‍රවූ බුදුරජුන්ගේ සසුනෙහි පිදිය යුත්තෙක් වෙමි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජ්ජුන පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අජ්ජුනපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
517. කුටජ පුප්ඵිය ථේරාපදානය
“හිමවතට නුදුරෙහි චාවල නම් පර්‍වතයක් විය. (එම) අතරෙහි සුදස්සන නම් බුදුරජතෙමේ වැඩ වෙසෙති.
“මම හිමවතෙහි හටගත් මල් ගෙන අහසට (නැගී) ගියෙමි. එහිදී චතුරෝඝයන් තරණය කළ, ආශ්‍රව රහිතවූ සම්බුදුරජුන් දුටුවෙමි.
“කෙළිඳ මල් ගෙන, හිසෙහි ඇඳිලි බැඳ, සියල්ල තෙමේම දත් මහර්ෂිවූ බුදුරජුන්හට පිදීමි.
“මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටජ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුටජපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.
518. ඝොස සඤ්ඤක ථේරාපදානය
“මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. (එහිදී) කෙළෙස් රජස් විරහිත, දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලද බුදුරජුන් දුටිමි.
“චතුස්සත්‍යය ප්‍රකාශ කරන්නාවූ, අමාපදය දෙසන්නාවූ (ඒ බුදුරජුන්ගේ) ලෝකබන්ධුවූ සිඛී බුදුරජුන්ගේ මිහිරි ධර්‍මය ඇසීමි.
“අසමවූ, අප්‍රති පුද්ගලවූ, (බුදුරජුන්) කෙරෙහිද, (උන්වහන්සේගේ බ්‍රහ්ම) ස්වරයෙහිද සිත පැහැදවීමි. එහි සිත පහදවා, තරණය කිරීමෙහි දුෂ්කරවූ භවය තරණය කෙළෙමි.
“මින් එක් තිස්වන කපෙහි වු එකල්හි යම් (ධර්‍ම දේශනා ශබ්දයෙක්හි) සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බ්‍රහ්ම ස්වර සංඥාවෙහි මේ විපාකයයි.