517. කුටජ පුප්ඵිය ථේරාපදානය
“හිමවතට නුදුරෙහි චාවල නම් පර්‍වතයක් විය. (එම) අතරෙහි සුදස්සන නම් බුදුරජතෙමේ වැඩ වෙසෙති.
“මම හිමවතෙහි හටගත් මල් ගෙන අහසට (නැගී) ගියෙමි. එහිදී චතුරෝඝයන් තරණය කළ, ආශ්‍රව රහිතවූ සම්බුදුරජුන් දුටුවෙමි.
“කෙළිඳ මල් ගෙන, හිසෙහි ඇඳිලි බැඳ, සියල්ල තෙමේම දත් මහර්ෂිවූ බුදුරජුන්හට පිදීමි.
“මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටජ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුටජපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.
518. ඝොස සඤ්ඤක ථේරාපදානය
“මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. (එහිදී) කෙළෙස් රජස් විරහිත, දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලද බුදුරජුන් දුටිමි.
“චතුස්සත්‍යය ප්‍රකාශ කරන්නාවූ, අමාපදය දෙසන්නාවූ (ඒ බුදුරජුන්ගේ) ලෝකබන්ධුවූ සිඛී බුදුරජුන්ගේ මිහිරි ධර්‍මය ඇසීමි.
“අසමවූ, අප්‍රති පුද්ගලවූ, (බුදුරජුන්) කෙරෙහිද, (උන්වහන්සේගේ බ්‍රහ්ම) ස්වරයෙහිද සිත පැහැදවීමි. එහි සිත පහදවා, තරණය කිරීමෙහි දුෂ්කරවූ භවය තරණය කෙළෙමි.
“මින් එක් තිස්වන කපෙහි වු එකල්හි යම් (ධර්‍ම දේශනා ශබ්දයෙක්හි) සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බ්‍රහ්ම ස්වර සංඥාවෙහි මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඝොස සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඝොසසඤ්ඤකත්ථෙරස්සාපදානං අට්ඨමං.
519. සබ්බ ඵලදායක ථේරාපදානය
“එකල්හි (මම) මන්ත්‍රයන්හි කෙළ පැමිණි, නම්න් වරුණ නම්වූ බ්‍රාහ්මණයෙක් වීමි. පුත්‍රයන් දසදෙනෙකු හැර දමා වනයට පිවිසියෙමි.
“මම මනොඥ ලෙස කොටස් කරන ලද අසපුවක් සාදා පන්සැලක්ද කොට වනයෙහි වසමි.
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ ඒ පදුමුත්තර බුදුරජතෙමේ මා සසරින් ගොඩලනු කැමැත්තේ මාගේ අසපුවට පැමිණි සේක.
“වන ලැහැබෙහි ආලෝකය යම්තාක් මහත්වීද, එකල්හි බුදුරජුන්ගේ ආනුභාවයෙන් වනය ඇවිල ගත්තාක් මෙන් විය.
“මම තාදී ගුණ ඇති බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඒ පෙළහර දැක කොළ ගොටුවක් ඵලයෙන් පිරවීමි.
“මම බුදුරජුන් වෙත එළඹ, කද සහිතවම දුනිමි. බුදුරජතෙම මට අනුකම්පාවෙන් මේ වචනය වදාළ සේක.
“‘ඔබ (පළතුරු) කත් බර රැගෙන මාගේ පසු පසින් එව. සංඝයා එය වැළඳු කල්හි තොපට පින් (සිදු) වන්නේය’ කියායි.
“මම එම (පළතුරු) ගොටුව ගෙන භික්‍ෂු සංඝයාට දුනිමි. මම එහි සිත පහදවා තුෂිත දෙව්ලොවෙහි උපනිමි.
“එම දිව්‍ය ලෝකයෙහි දිව්‍යමයවූ නෘත්‍යයන් කරණකොටගෙනද, ගීතයන් කරණකොටගෙනද, වාදිතයන් කරණකොටගෙනද (එකී) කුශල කර්‍ම හා සංයුක්තවූ සුවය හැමකල්හි විඳිමි.
“දිව්‍යවූද, යලි මනුෂ්‍යවූද යම් යෝනියක උපදිම් නම් මාගේ භෝගයෝ අඩු බවක් නැත. ඵල දානයාගේ මේ විපාකයයි.
“මම බුදුරජුන්හට (මේ) ඵල (දානය) දී, සමුදුරු සහිතවූ සිව් මහ දිවයින් යම් පමණ නම් (එපමණ) තන්හි මාගේ ආධිපත්‍යය කරමි.
“මේ පක්‍ෂි සමූහයා අහසෙහි යම් පමණ දුර (උඩ) පියාඹත්ද, (එපමණ තන්හි අහසෙහිද) ඔවුහු (මාගේ) වසඟයට පැමිණෙත්. ඵල දානයාගේ මේ විපාකයයි.