52. කුරඤ්ඡිය වග්ග
511. කුරඤ්ඡියඵලදායක ථේරාපදානය
“මම පෙර වනයෙහි සැරිසරන්නාවූ වැද්දෙක් වීමි. සියළු දහම්හි කෙළපත්, කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
“මම කුරඤ්ඡිය ඵලයක් ගෙන වීරවූ, පුණ්‍යක්‍ෂෙත්‍රවූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පහන්වූයේ, සියතින් දුනිමි.
“මින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) මම දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුරඤ්ඡියඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුරඤ්චියඵලදායකත්ථෙරස්සාපදානං පඨමං.
512. කපිත්‍ථඵලදායක ථේරාපදානය
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ස්වර්‍ණවර්‍ණවූ, වීථියට පිළිපන්නාවූ බුදුරජුන් දැක ගිවුළුඵලයක් (දිවුල් ගෙඩියක්) දුනිමි.
“මින් එක් අනුවන කපෙහි වූ එකල්හි යම් (ගිවුළු) ඵලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කපිත්‍ථඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කපිත්ථඵලදායකත්ථෙරස්සාපදානං දුතියං.
513. කොසුම්භඵල දායක ථේරාපදානය
“කුඹුක් රුකක් මෙන් බලන, දේවාතිදේවවූ, නරශ්‍රේෂ්ඨවූ, වීථියට පිළිපන් බුදුරජුන්හට කොසුම්භ ඵලයක් දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයෙහි මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.