308. අනුලෙපදායක ථේරාපදානය
“මම අත්ථදස්සී බුදු රජුන්ගේ ශ්‍රාවකයෙක් දුටිමි. (උන්වහන්සේ) නවකම් කරද්දී මම එතනට එළඹියෙමි.
“නව කර්‍ම නිමි කල්හි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, නිරුත්තරවූ, පුණ්‍යක්‍ෂෙත්‍ර සංඛ්‍යාත සඞ්ඝයා කෙරෙහි පැහැදි සිතින් මම එහි අනුලේපනය (සුණු ආලේප) දුනිමි.
“මින් එක් දහස් අටසිය කපෙහි වූ එකල්හි යම් (සුද්‍ධාලේපන) කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අනුලේප දානයාගේ මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
අනුලෙපදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
309. බුද්‍ධ සඤ්ඤක ථේරාපදානය
“සියක් රැස් ඇති, පීත වර්‍ණ රශ්මියෙන් යුත්, උදාවන හිරු වැනි වනයට පිවිසි ශාන්තවූ ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ (බුදුරජුන්),
“සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් සිහිනෙන් දුටිමි. මම එහි (බුද්‍ධාළම්බනයෙහි) සිත පහදවා සුගතියෙහි උපනිමි.
“මින් සිව් අනූවන කපෙහි වූ කල්හි යම් බුද්‍ධ සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ සංඥාවෙහි (බුද්‍ධාළම්බන ප්‍රීතියෙහි) මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්‍ධසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
බුද්ධසඤ්ඤකත්ථෙරස්සාපදානං නවමං.
310. පබ්භාරදායක ථේරාපදානය
“මා විසින් පියදස්සී බුදුරජුන්හට ගිරි ගුහාවක් පිරිසිදු කරණ ලදී. තාදී ගුණ ඇති බුදුරජුන්ගේ පරිභෝගය පිණිස (පැන්) කළයක්ද එලවා තැබීමි.
“මහාමුනිවූ පියදස්සී බුදුරජ තෙමේ මට ඒ කරුණ මෙසේ ප්‍රකාශ කළ සේක. දහසක් කොටස් බෙදුම් ඇති, සියයක් ගෝලාකාර මුදුන් ඇති ධජයන්ගෙන් යුත්, කොළවන්වූ,
“ඒ යූපය (ප්‍රාසාදය) උපදින්නේය, අපමණවූ රුවන්ද (ලැබෙන්නේය). (මෙසේ) ගිරිගුහා දානය දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
“මින් දෙතිස්වන කපෙහි මහත් බල ඇති සත් රුවනින් යුත් “සුසුද්‍ධ” නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පබ්භාරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පබ්භාරදායකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
කෙසරය, ගන්ධය, පරමන්නය ද, ධම්මසඤ්ඤක ද, ඵලය ද, පසාද ද, ආරාමදායක ද, ලෙපක ද, බුද්ධසඤ්ඤක ද, පබ්භාරද ද යන මොහුයි. ගාථාවෝ එක් පනසක් යයි කීර්තිමත් කරන ලද්දාහුය.
පදුමකෙසරවග්ගො එකතිංසතිමො.