31. පදුම කෙසර වග්ග
301. පදුම කෙසරිය ථේරාපදානය
“මම පෙර ඎෂී සමූහයා අතුරෙහි මාතඞ්ග හස්ති කුලයෙහි උපන් චණ්ඩ නම් හස්තියෙක් වීමි. පසේ බුදුවරුන් වහන්සේලාට පැහැදී පියුම් කෙසරු විසිරවීමි.
“කම්පා කරණ ලද කෙළෙස් ඇති, තාදී ගුණ ඇති, ඒ පසේ බුදුවරුන් වහන්සේලා කෙරෙහි සිත පහදවා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටුවීමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි පියුම් කෙසරු විසිරවීම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම කෙසරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පදුමකෙසරියත්ථෙරස්ස අපදානං පඨමං.
302. සබ්බගන්ධිය ථේරාපදානය
“විපස්සී බුදුරජුන්හට මා විසින් සුවඳ මල් දෙන ලදී. එසේම කාය වඞ්කාදියෙන් තොර බැවින් ඎජුවූ උන්වහන්සේට උතුම් කොසෙය්ය වස්ත්රයක්ද දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ ඒ අතිතයෙහි යම් ගන්ධ දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගන්ධ දානයෙහි මේ විපාකයයි.
“මින් පසළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “සුචෙල” නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බගන්ධිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සබ්බගන්ධියත්ථෙරස්ස අපදානං දුතියං.
303. පරමන්නදායක ථේරාපදානය
“කිනිහිරි රුකක් මෙන්ද, උදාවන හිරු මෙන්ද, බබලන ලෝක ජෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ, විපස්සී බුදුරජුන් දිටිමි.
“මම ඇඳිලි බැඳ (එම බුදුරජුන්) සිය ගෙදොරට වැඩමවීමි. වැඩමවා සම්බුදු රජුන්හට උතුම් ආහාර දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි උතුම් ආහාර දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උතුම් ආහාර දානයාගේ මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරමන්නදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පරමන්නදායකත්ථෙරස්ස අපදානං තතියං.
304. ධම්මසඤ්ඤක ථේරාපදානය
“ලෝක ජ්යෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ විපස්සී බුදුරජුන් බෝ රුක් මුල සිටියදීම නොහොත් බුදුරජුන් බෝ රුක මුල සිටිනා කල්හි මෙන් සිතා (කරන) විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය.
“එසමයෙහි භාග්යවතුන් වහන්සේ භික්ෂු සඞ්ඝයා විසින් පිරිවරණ ලදුයේ, අභීත වචනයෙන් චතුස්සත්යය වදාරණ සේක.
“විවට කළ කෙළෙස් සෙවෙනි ඇති එම බුදුරජ තෙම සංක්ෂිප්තවද, විස්තරවද (දහම්) දෙසමින් මහජනයා නිවනට පැමිණවිය.
“ලෝක ජ්යෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ උන්වහන්සේගේ ධර්මය අසා (එම) ශාස්තෘන් වහන්සේගේ පා වැඳ, උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ධර්මයක් අසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධර්ම ශ්රවණයෙහි මේ විපාකයයි.
“මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති, පෘථිවීශ්වරවූ “සුතවා” නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ධම්මසඤ්ඤකත්ථෙරස්සාපදානං චතුත්ථං.
305. ඵලදායක ථේරාපදානය
“එකල්හි භාගිරථි නදී තීරයෙහි අසපුවක් විය. මම පලතුරු ගත් අත් ඇත්තේ, බලාපොරොත්තු සහිත වූයේ, එම අසපුවට ගියෙමි.
“එහිදී පීත වර්ණ රැස් ඇති, (උදාවන) හිරු මෙන් (බබලන්නාවූ) විපස්සී බුදුරජුන් දිටිමි. මා ලඟ යම් ඵල වර්ගයක් වීද, ඒ සියළු ඵල මම බුදුරජුන්හට දුනිමි.