305. ඵලදායක ථේරාපදානය
2736. “එකල්හි භාගිරථි නදී තීරයෙහි අසපුවක් විය. මම පලතුරු ගත් අත් ඇත්තේ, බලාපොරොත්තු සහිත වූයේ, එම අසපුවට ගියෙමි.
2737. “එහිදී පීත වර්‍ණ රැස් ඇති, (උදාවන) හිරු මෙන් (බබලන්නාවූ) විපස්සී බුදුරජුන් දිටිමි. මා ලඟ යම් ඵල වර්ගයක් වීද, ඒ සියළු ඵල මම බුදුරජුන්හට දුනිමි.
2738. මෙයින් එක්අනූවන කපෙහි එකල්හි යම් ඵල දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයේ මේ විපාකයයි.
2739. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ඵලදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.
306. සම්පසාදක ථේරාපදානය
2740. “බුද්ධ වීරයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. (ඔබ) සියලු ස්කන්ධ, ධාතු, ආයතනයන්ගෙන් මිදුනේ වෙහිය. මම දුකට පැමිණියේ වෙමි. ඒ මට පිහිටවනු මැනව.
2741. ලෝකයෙහි අසමසම පුද්ගලයා වූ සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක: “සංඝයා මහසයුර මෙන් ගැඹුරු ගුණ ඇත්තේය. අපමණ ගුණ ඇත්තේය. අනුත්තර වූ ගුණ ඇත්තේය.
2742. අනන්ත විපාක දෙන්නා වූ, (කෙලෙස්) රජස් රහිත (පුණ්‍ය) ක්ෂේත්‍රය වූ සංඝයා කෙරෙහි සිත පහදවනු මැනව. එහි කුසල් නැමැති මනා බිජුවට ද රෝපණය කරනු මැනව.”
2743. ලෝකජ්‍යෙෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨ වූ සර්වඥයන් වහන්සේ මෙය වදාරා, මට මෙසේ අනුශාසනා කොට අහසට නැඟී වැඩි සේක.
2744. නරශ්‍රේෂ්ඨ වූ සර්වඥයන් වහන්සේ (එතැනින්) වැඩම කළ නොබෝ වේලාවකින් මම මරණයට පැමිණ තුසිත දෙව්ලොව උපන්නෙමි.
2745. “එකල්හි මම (කෙළෙස්) රජස් විරහිත, අනන්ත ඵල දායකවූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2746. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි (සඞ්ඝයා කෙරෙහි) යම් ප්‍රසාදයක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැහැදීමෙහි මේ විපාකයයි.
2747. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්පසාදක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සම්පසාදකත්ථෙරස්සාපදානං ඡට්ඨං.