306. සම්පසාදක ථේරාපදානය
“බුද්ධ වීරයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. (ඔබ) සියලු ස්කන්ධ, ධාතු, ආයතනයන්ගෙන් මිදුනේ වෙහිය. මම දුකට පැමිණියේ වෙමි. ඒ මට පිහිටවනු මැනව.
“ලෝකයෙහි අනූපම පුද්ගලවූ සිද්ධාර්ත්‍ථ බුදුරජ තෙමේ ඕහට මෙසේ වදාළ සේක. සඞ්ඝ තෙමේ මහ සයුර මෙන් ගැඹුරු ගුණ ඇත්තේය. අපමණ ගුණ ඇත්තේය. අනුත්තරවූ ගුණ ඇත්තේය.
“අනන්ත විපාක දෙන්නාවූ රජස් විරහිත පුණ්‍ය ක්‍ෂෙත්‍රවූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවනු මැනව. එහි කුසල් නමැති මහ බිජුවටද රෝපණය කළ මැනව.
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ සර්‍වඥ තෙමේ මෙය වදාරා, මට මෙසේ අනුශාසනා කොට අහසට නැංගාහ.
“නර ශ්‍රේෂ්ඨවූ සර්වඥයන් වහන්සේ (එතැනින්) වැඩමවූ නොබෝ වේලාවකින් මම මරණයට පැමිණියේ තුසිතයෙහි ඉපදුනිමි.
“එකල්හි මම (කෙළෙස්) රජස් විරහිත, අනන්ත ඵල දායකවූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
“මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි (සඞ්ඝයා කෙරෙහි) යම් ප්‍රසාදයක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැහැදීමෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්පසාදක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සම්පසාදකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
307. ආරාමදායක ථේරාපදානය
“මා විසින් සිදුහත් බුදුරජුන්හට ආරාමයක් රෝපනය කරණ ලදී. රුක් සෙවන ඇති කල්හි පක්‍ෂීන් සන්සුන් වන කල්හි,
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ (කෙළෙස්) රජස් විරහිත බුදුරජුන් දිටිමි. (දැක) ලෝකජ්‍යේෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ බුදුරජුන්හට අරම පිළිගැන්වීමි.
“මම සතුටුවූයේ, සතුටු සිතින්ම, ගෙඩිද, මල්ද, (උන්වහන්සේට) පිදීමි. ඉක්බිති හටගත් ප්‍රසාදයද එම වන (ආරාම)යද වර්ධනය කෙළෙමි.
“පැහැදි සිතින් බුදුරජුන්හට යම් මේ ආරාම දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට ඵල වර්ග නොහොත් එම කුශල ඵලය උපදී.
“මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ආරාම දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ආරාම දානයාගේ මේ විපාකයයි.
“මෙයින් තිස්හත්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මුදුසීතල නම් සක්විති රජවරු සත්දෙනෙක් වූහ.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරාමදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ආරාමදායකත්ථෙරස්සාපදානං සත්තමං.
308. අනුලෙපදායක ථේරාපදානය
“මම අත්ථදස්සී බුදු රජුන්ගේ ශ්‍රාවකයෙක් දුටිමි. (උන්වහන්සේ) නවකම් කරද්දී මම එතනට එළඹියෙමි.
“නව කර්‍ම නිමි කල්හි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, නිරුත්තරවූ, පුණ්‍යක්‍ෂෙත්‍ර සංඛ්‍යාත සඞ්ඝයා කෙරෙහි පැහැදි සිතින් මම එහි අනුලේපනය (සුණු ආලේප) දුනිමි.
“මින් එක් දහස් අටසිය කපෙහි වූ එකල්හි යම් (සුද්‍ධාලේපන) කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අනුලේප දානයාගේ මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
අනුලෙපදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.