304. ධම්මසඤ්ඤක ථේරාපදානය
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ විපස්සී බුදුරජුන් බෝ රුක් මුල සිටියදීම නොහොත් බුදුරජුන් බෝ රුක මුල සිටිනා කල්හි මෙන් සිතා (කරන) විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය.
“එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා විසින් පිරිවරණ ලදුයේ, අභීත වචනයෙන් චතුස්සත්‍යය වදාරණ සේක.
“විවට කළ කෙළෙස් සෙවෙනි ඇති එම බුදුරජ තෙම සංක්‍ෂිප්තවද, විස්තරවද (දහම්) දෙසමින් මහජනයා නිවනට පැමිණවිය.
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ උන්වහන්සේගේ ධර්මය අසා (එම) ශාස්තෘන් වහන්සේගේ පා වැඳ, උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ධර්මයක් අසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධර්‍ම ශ්‍රවණයෙහි මේ විපාකයයි.
“මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති, පෘථිවීශ්වරවූ “සුතවා” නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ධම්මසඤ්ඤකත්ථෙරස්සාපදානං චතුත්ථං.
305. ඵලදායක ථේරාපදානය
“එකල්හි භාගිරථි නදී තීරයෙහි අසපුවක් විය. මම පලතුරු ගත් අත් ඇත්තේ, බලාපොරොත්තු සහිත වූයේ, එම අසපුවට ගියෙමි.
“එහිදී පීත වර්‍ණ රැස් ඇති, (උදාවන) හිරු මෙන් (බබලන්නාවූ) විපස්සී බුදුරජුන් දිටිමි. මා ලඟ යම් ඵල වර්ගයක් වීද, ඒ සියළු ඵල මම බුදුරජුන්හට දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ඵලදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.
306. සම්පසාදක ථේරාපදානය
“බුද්ධ වීරයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. (ඔබ) සියලු ස්කන්ධ, ධාතු, ආයතනයන්ගෙන් මිදුනේ වෙහිය. මම දුකට පැමිණියේ වෙමි. ඒ මට පිහිටවනු මැනව.
“ලෝකයෙහි අනූපම පුද්ගලවූ සිද්ධාර්ත්‍ථ බුදුරජ තෙමේ ඕහට මෙසේ වදාළ සේක. සඞ්ඝ තෙමේ මහ සයුර මෙන් ගැඹුරු ගුණ ඇත්තේය. අපමණ ගුණ ඇත්තේය. අනුත්තරවූ ගුණ ඇත්තේය.
“අනන්ත විපාක දෙන්නාවූ රජස් විරහිත පුණ්‍ය ක්‍ෂෙත්‍රවූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවනු මැනව. එහි කුසල් නමැති මහ බිජුවටද රෝපණය කළ මැනව.
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ සර්‍වඥ තෙමේ මෙය වදාරා, මට මෙසේ අනුශාසනා කොට අහසට නැංගාහ.
“නර ශ්‍රේෂ්ඨවූ සර්වඥයන් වහන්සේ (එතැනින්) වැඩමවූ නොබෝ වේලාවකින් මම මරණයට පැමිණියේ තුසිතයෙහි ඉපදුනිමි.
“එකල්හි මම (කෙළෙස්) රජස් විරහිත, අනන්ත ඵල දායකවූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
“මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි (සඞ්ඝයා කෙරෙහි) යම් ප්‍රසාදයක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැහැදීමෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්පසාදක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සම්පසාදකත්ථෙරස්සාපදානං ඡට්ඨං.