284. එකපුප්ඵිය ථේරාපදානය
16. “මම එකල්හි දකුණු දොරටුවෙහි පිසාචයෙක් වීමි. (එහිදී) පීත වර්‍ණ රැස් ඇති (උදාවන) හිරු වැනිවූ, කෙළෙස් රජස් නැති බුදු රජුන් දුටිමි.
17. “සර්‍වලෝක හිතෛශීවූ, නරශ්‍රේෂ්ඨවූ, විපදෝත්තමවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් එක් මලක් පුදන ලදී.
18. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
19. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.
285. මඝව පුප්ඵිය ථේරාපදානය
20. “නර්‍මදා නදී තීරයෙහි සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, යහපත්වූ, නොකැළඹුණු ඒ (සුමන) සර්‍වඥයන් වහන්සේ සමාධියට සමවැදුනේ විය.
21. “පහන්වූ, සොම්නස්වූ මම අපරාජිතවූ එම සර්‍වඥයන් වහන්සේ දැක එකල්හි එම බුදුරජුන්හට මඝම නම්වූ මල්වලින් පිදීමි.
22. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
23. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඝව පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මඝවපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
286. උපඨාකදායක ථේරාපදානය
24. “ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, විපදෝත්තමවූ, නරශ්‍රේෂඨවූ, වීථියට පිවිසෙන බුදුරජුන් (දිටිමි.)
25. “(දැක) මා විසින් සර්‍වලෝක හිතෛශීවූ ඒ සිදුහත් බුදුරජුන්හට උපස්ථායකයෙක් දෙන ලදී.
26. “මහා මුනිවූ සර්‍වඥ තෙම (උපස්ථායකයා) පිළිගෙන (ආපසු මට පාවා දුනි.) ඉක්බිති එම අසුනෙන් නැගිට ප්‍රාචීන දිශාභිමුඛව (නැගෙනහිරට මුහුනලා) වැඩි සේක.
27. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි උපස්ථායකයෙක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උවටැනෙහි මේ විපාකයයි.
28. “මින් සත් පණස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති බලසේන නම් සක්විති රජෙක් වීමි.
29. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපඨාකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උපට්ඨාකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.