29. පණ්ණදායක වග්ග
281. පණ්ණදායක ථේරාපදානය
1. “මම පර්‍ණභෝජන අනුභවයෙහි (කොළ බුදීමෙහි) යෙදුනේ පන්සැලක හුන්නේ වෙමි. (එහි) සන්සුන්ව හුන් මා වෙත මහාමුනි තෙමේ එළඹි සේක.
2. “මුළු ලොවටම වෙදෙකු වැනිවූ, ලොව බබුළුවන්නාවූ සිද්‍ධාර්ත්‍ථ සර්‍වඥයන් වහන්සේට, කොළ ඇතිරියෙහි වැඩහුන් කල්හි මා විසින් කොළයක් දෙන ලදී.
3. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් (කෑමට පිළියෙල කළ) කොළයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පර්‍ණ දානයාගේ මේ විපාකයයි.
4. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පණ්ණදායකත්ථෙරස්සාපදානං පඨමං.
282. ඵලදායක ථේරාපදානය
5. “සිනේරු පර්‍වතය මෙන් ශාන්තවූ, මහමෙර මෙන් ස්ථිරවූ ඒ සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවත් තෙමේ සමාධියෙන් නැගිට පිඬු පිණිස මා වෙත එළඹි සේක.
6. “අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුළු, බෙලි, බොරළු, දමනු යන (මේ) ඵලද,
7. “මුළු ලොවට අනුකම්පා කරන්නාවූ සිදුහත් බුදුරජුන්හට ඒ සියල්ල පැහැදි සිතින් මා විසින් දෙන ලදී.
8. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පලතුරු දනෙහි මේ විපාකයයි.
9. “මින් සත් පණස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති එකජ්ඣ නම් සක්විති රජෙක් වීමි.
10. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඵලදායකත්ථෙරස්සාපදානං දුතියං.
283. පච්චුග්ගමනිය ථේරාපදානය
11. “වනයෙහි (එකලාව) හැසිරෙන්නාවූ සිංහයෙකු මෙන්ද, ශ්‍රේෂ්ඨ ආජානීයයෙකු මෙන්ද, බබලන්නාවූ කුඹුක් ගසක් මෙන්ද (වූ), (ඉදිරියට) වඩින්නාවූ නරශ්‍රේෂ්ඨයන් (දුටිමි).
12. “(ක්ලේශ රෝගයෙන් පෙළෙන) එකල ලෝකයාට වෛද්‍යවරයෙකු මෙන්ද, ලොව බබුළුවන්නාවූ සිද්‍ධාර්ත්‍ථ (බුදුරජුන් දැක), පැහැදි සිතින් පෙර ගමන් කෙළෙමි.
13. “මින් එක් අනූවන කපෙහි බුදුරජුන්හට පෙරගමන් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පෙර ගමන් කිරීමෙහි මේ විපාකයයි.
14. “මින් සත් විසිවෙනි කපෙහි ජනාධිපතිවූ, මහත් බල ඇති සපරිවාර නම් සක්විති රජෙක් වීමි.
15. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුග්ගමනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පච්චුග්ගමනියත්ථෙරස්සාපදානං තතියං.
284. එකපුප්ඵිය ථේරාපදානය
16. “මම එකල්හි දකුණු දොරටුවෙහි පිසාචයෙක් වීමි. (එහිදී) පීත වර්‍ණ රැස් ඇති (උදාවන) හිරු වැනිවූ, කෙළෙස් රජස් නැති බුදු රජුන් දුටිමි.
17. “සර්‍වලෝක හිතෛශීවූ, නරශ්‍රේෂ්ඨවූ, විපදෝත්තමවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් එක් මලක් පුදන ලදී.
18. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
19. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.