274. අබ්භඤ්ජනදායක ථේරාපදානය
“වීත රාගීවූ, තාදී ගුණ ඇති, ආකාශය සමවූ (මෙත්) සිත ඇති, ප්‍රමාද විහරණ (කෙළෙස් ගතිවලින් යුතුව නොසැළකිලිමත්ව විසීමක්) නැති, ධ්‍යාන කරන්නාවූ කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේට,
සියලු මුළාවීම ඉක්මවූ, සකල ලෝක හිතෛශීභාවයෙන් යුත්, ද්වීපදෝත්තමවූ ශාස්තෲන් වහන්සේට මා විසින් ආලේපන තෛලයක් දෙන ලදී.
“මින් අසංඛ්‍ය කල්පයකට පෙර වූ එකල්හි යම් ආලේපන තෛලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ආලේපන තෛල දානයාගේ මේ විපාකයයි.
“මින් පසළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති චිරප්ප නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
අබ්භඤ්ජනදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
275. එකඤ්ජලිය ථේරාපදානය
“දිඹුල් ගස් සෙවනෙහි නියමිත කොළ ඇතිරියක වසන්නාවූ මහර්ෂී ශ්‍රමණයන් වහන්සේට මා විසින් විසුමට තැනක් දෙන ලදී.
“ලෝකනාථවූ, තාදී ගුණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳ මල් ඇතිරියක් අතුළෙමි.
“මින් දෙයානූවන කපෙහි යම් මල් ඇතිරියක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මල් ඇතිරිය දීමෙහි මේ විපාකයයි.
“මින් තුදුස්වන කපෙහි ජනාධිපතිවූ මහත් බල ඇති, එක අඤ්ජලික නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
එකඤ්ජලිකත්ථෙරස්සාපදානං පඤ්චමං.
276. පොත්‍ථකදායක ථේරාපදානය
“අසමාන පුණ්‍යක්‍ෂෙත්‍රවූ බුදුරජුන්ද, ධර්‍මය හා සංඝයාද අරභයා මහර්ෂීවූ බුදුරජුන්හට මා විසින් නියඳ වස්ත්‍ර දානයක් දෙන ලදී.
“මින් එක්අනූවන කපෙහි වූ එකල්හි (එම වස්ත්‍ර දානය කිරීම් වශයෙන්) යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුමුතුරුණු සඳහා දුන්) එම නියඳ වස්ත්‍ර දානයෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පොත්‍ථකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පොත්ථකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
277. චිතකපූජක ථේරාපදානය
“මම චන්ද්‍රභාගා ගං ඉවුරෙහි යටිගං බලා යමි. (එහිදී) මාලුව මල් සතක් ගෙන (වැලිවලින් සෑයක් කොට එම) චිතකයට පිදීමි.
“මින් සිව් අනූවන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
“මින් සත් සැටවන කපෙහි සත් රුවනින් යුත්, පටිජග්ග නම් ඇති සක්විති රජ කෙනෙක් වූහ.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
චිතකපූජකත්ථෙරස්සාපදානං සත්තමං.