275. එකඤ්ජලිය ථේරාපදානය
“දිඹුල් ගස් සෙවනෙහි නියමිත කොළ ඇතිරියක වසන්නාවූ මහර්ෂී ශ්‍රමණයන් වහන්සේට මා විසින් විසුමට තැනක් දෙන ලදී.
“ලෝකනාථවූ, තාදී ගුණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳ මල් ඇතිරියක් අතුළෙමි.
“මින් දෙයානූවන කපෙහි යම් මල් ඇතිරියක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මල් ඇතිරිය දීමෙහි මේ විපාකයයි.
“මින් තුදුස්වන කපෙහි ජනාධිපතිවූ මහත් බල ඇති, එක අඤ්ජලික නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
එකඤ්ජලිකත්ථෙරස්සාපදානං පඤ්චමං.
276. පොත්‍ථකදායක ථේරාපදානය
“අසමාන පුණ්‍යක්‍ෂෙත්‍රවූ බුදුරජුන්ද, ධර්‍මය හා සංඝයාද අරභයා මහර්ෂීවූ බුදුරජුන්හට මා විසින් නියඳ වස්ත්‍ර දානයක් දෙන ලදී.
“මින් එක්අනූවන කපෙහි වූ එකල්හි (එම වස්ත්‍ර දානය කිරීම් වශයෙන්) යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුමුතුරුණු සඳහා දුන්) එම නියඳ වස්ත්‍ර දානයෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පොත්‍ථකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පොත්ථකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
277. චිතකපූජක ථේරාපදානය
“මම චන්ද්‍රභාගා ගං ඉවුරෙහි යටිගං බලා යමි. (එහිදී) මාලුව මල් සතක් ගෙන (වැලිවලින් සෑයක් කොට එම) චිතකයට පිදීමි.
“මින් සිව් අනූවන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
“මින් සත් සැටවන කපෙහි සත් රුවනින් යුත්, පටිජග්ග නම් ඇති සක්විති රජ කෙනෙක් වූහ.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
චිතකපූජකත්ථෙරස්සාපදානං සත්තමං.