280. තරණීය ථේරාපදානය
“පහසුවෙන් යා නොහැකි මාර්ගයක මවිසින් ලෝකයාගේ එතරවීම පිණිස සියතින්ම ඒදන්ඩක් (හෙයක්) කරවන ලදී.
“මින් අනූඑක්වන කපෙහි මවිසින් ඒදණ්ඩ කරවන ලදී. දුගතියක් නොදනිමි. එදඬු දානයාගේ මේ ඵලයයි.
“මින් පණස්වන කපෙහි සත් රුවණින් යුතු මහත් බල ඇති සමාගධ නම් සක්විති රජෙක් වීමි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
තරණීයත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
සුවණ්ණ, තිලමුට්ඨි, චඞ්ගොටක, අබ්භඤ්ජන, අඤ්ජලි, පොත්ථක, චිතක, මාලුව (ආලුව), එකපුණ්ඩරික සහ සෙතු දායක යන මේ අපදාන දහයෙහි ගාථා සතළිස් දෙකක් ඇති බව නුවණැත්තන් විසින් දත යුතුය.
සුවණ්ණබිබ්බොහනවග්ගො අට්ඨවීසතිමො.
29. පණ්ණදායක වග්ග
281. පණ්ණදායක ථේරාපදානය
1. “මම පර්ණභෝජන අනුභවයෙහි (කොළ බුදීමෙහි) යෙදුනේ පන්සැලක හුන්නේ වෙමි. (එහි) සන්සුන්ව හුන් මා වෙත මහාමුනි තෙමේ එළඹි සේක.
2. “මුළු ලොවටම වෙදෙකු වැනිවූ, ලොව බබුළුවන්නාවූ සිද්ධාර්ත්ථ සර්වඥයන් වහන්සේට, කොළ ඇතිරියෙහි වැඩහුන් කල්හි මා විසින් කොළයක් දෙන ලදී.
3. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් (කෑමට පිළියෙල කළ) කොළයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පර්ණ දානයාගේ මේ විපාකයයි.
4. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පණ්ණදායකත්ථෙරස්සාපදානං පඨමං.
282. ඵලදායක ථේරාපදානය
5. “සිනේරු පර්වතය මෙන් ශාන්තවූ, මහමෙර මෙන් ස්ථිරවූ ඒ සිද්ධාර්ත්ථ භාග්යවත් තෙමේ සමාධියෙන් නැගිට පිඬු පිණිස මා වෙත එළඹි සේක.
6. “අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුළු, බෙලි, බොරළු, දමනු යන (මේ) ඵලද,
7. “මුළු ලොවට අනුකම්පා කරන්නාවූ සිදුහත් බුදුරජුන්හට ඒ සියල්ල පැහැදි සිතින් මා විසින් දෙන ලදී.
8. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පලතුරු දනෙහි මේ විපාකයයි.
9. “මින් සත් පණස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති එකජ්ඣ නම් සක්විති රජෙක් වීමි.
10. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඵලදායකත්ථෙරස්සාපදානං දුතියං.