236. වණ්ණකාර ථේරාපදානය
“මම එකල්හි අරුණවතී නගරයෙහි වර්‍ණකාරයෙක් (රෙදි සායම් කරන්නෙක්) වෙමි. මම චෛත්‍යයෙහි වස්ත්‍ර නා නා වර්‍ණකොට පෙවීමි.
“මින් තිස්එක්වන කපෙහි වූ එකල්හි යම් වර්‍ණයක් (පින් පිණිස) පෙවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වර්ණ දානයෙහි මේ විපාකයයි.
“මින් තෙවිසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චන්දුපම නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වණ්ණකාර තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වණ්ණකාරත්ථෙරස්සාපදානං ඡට්ඨං.
237. පියාලපුප්ඵිය ථේරාපදානය
“මම පෙර මහ වෙනෙහි මුව වැද්දෙක්වීමි. මම පිපුණු පියාල ගසක් දැක, බුදුරජුන් වැඩිය මගෙහි (එම මල් ගෙන) දැමීමි.
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාල පිප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පියාලපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.
238. අම්බයාගදායක ථේරාපදානය
“ස්වකීය (තර්‍කව්‍යාකරණාදී) ශිල්පයෙහි දක්‍ෂවූයේ මම වනයට ගියෙමි. මම මග වඩින්නාවූ බුදුරජුන් දැක අඹ දනක් දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඹ දනෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාග දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අම්බයාගදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.