24. උදකාසන වග්ග
231. උදකාසනදායක ථේරාපදානය
“මම අරම් දොරින් නික්ම උත්තමාර්ත්ථයවූ නිවණට පැමිණීම පිණිස (වැඩහිඳීමට) පුවරුවක් ඇතිරීමි. පැන්ද එලවා තැබීමි.
“මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි මා විසින් යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අසුන හා දිය එලවා තැබීමෙහි මේ විපාකයයි.
“මින් පහළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “අභිසාම” නම් සකිවිති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උදකාසනදායකත්ථෙරස්සාපදානං පඨමං.
232. භාජනදායක ථේරාපදානය
“මම එකල්හි බන්ධුමතී නගරයෙහි කුම්භකාරයෙක් (කුඹලෙක්) වීමි. එකෙණෙහි භික්ෂු සංඝයාට බඳුන් දුනිමි.
“මින් එක් අනූවන කපෙහි යම් භාජන දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භාජන දානයාගේ මේ විපාකයයි.
“මින් තෙපණස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “අනන්තජාලි” නම් සක්වති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භාජනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භාජනපාලකත්ථෙරස්සාපදානං දුතියං.
233. සාලපූපිය ථේරාපදානය
“මම අරුණවතී නගරයෙහි පූප (කැවිලි වර්ග) සාදන්නෙක්වීමි. (එකල්හි) මාගේ ගෙදොරින් වඩිනා සිඛී බුදුරජුන් දිටිමි.
“මම බුදුරජුන්ගේ පාත්රය ගෙන මනාසේ වඩින එම බුදුරජාණන් වහන්සේට පැහැදි සිතින් හල්පූ දුනිමි.
“මින් තිස්එක්වන කපෙහි මම යම් ඛාද්යයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. හල්පූ දානයෙහි මේ විපාකයයි.
“මින් තුදුස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “අමිතඤ්ජල” නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සාලපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.